Monday, December 17, 2012

සුජාත දියණී

කාලෙන් කාලෙට අතුරුදහන් වෙන එක මගෙ ඉතින් පුරුද්දනෙ. කොහොම උනත් ඔන්න මම ආව.

          80 දශකයේ මැදබාගෙ උපන් අපේ පරම්පරාවෙ උදවිය ටයි මාමා ගේ  රූපවාහිනී හඬ කැවීම් අංශයේ කතා මාලවන් එක්ක උස්මහත් වෙච්ච ඈයොනෙ.
          ඔය කතා මාලාවන් දොස්තර හොඳ හිතගෙ ඉදන් පසු කාලීනව අතුල රන්සිරිලාල් මහත්මයා කරපු කූඹිච්චි වෙනකන්ම ආසාවෙන් නරඹපු කෙනෙක් මම. ඔය කූඹිච්චි කතා මාලාවෙන් පස්සෙ රූපවාහිනී හඬ කැවීමේ අංශයෙන් එහෙමට කියල හිත් ඇදගන්න යමක්  උනේ නෑ කියල තමයි මටනම් හිතුනෙ. කොහොම උනත් ඔන්න ආයෙත් රූපවාහිනී හඬ කැවීම් අංශයට පන ඇවිදින්. බොහොම කාලෙකට කලින් රෝස කුමාරි පුංචි කාලෙ බලපු ඔෂීන් ජන් කතාමාලාව ආයෙත් විකාශනය කරමින් අරඹපු මේ අලුත් ගමනෙ එළිය වැඩි උනේ සුජාත දියණිය නිසයි.
        කොරියානු  Dae Jang Geum ඉග්‍රීසියට Jewel in the palace, සින්හලට සුජාත දියණී උනා. මුළු කතාවම ඉග්‍රීසි උපසිරස සහිතව මම නැරඹුවා. එහි එන බොහොමයක් චරිතවල සැබෑ කටහඬට සමාන කටහඬ සින්හල හඬ කැවීමේදී භාවිතා කර තිබීම හරිම අපූරුයි. චන්ගුමී ගේ ඩුක්කු මාමා ගේ කටහඬනම් ඇරපු අතක් නෑ එකම වගේ. කොහොම නමුත් මේ වගේ ලස්සන නිර්මාණයක් සිංහලට හඬකවා ලාංකික ප්‍රේක්ශකයාට හරවත් වගේම රසවත් නිරිමාණයක් අරගන ආවට අතුල රන්සිරිලාල් මහතා ඇතුළු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සියළු දෙනාට මගේ ප්‍රණාමය.
           Dong Yi සහ  Yi San කියන්නෙ සුජාත දියණී  නිර්මාණය කරපු කණ්ඩායමේ තවත්  කතා මාලා දෙකක්  ඒවත් කොරියානු ඉතිහාස කතා.මේ කතා දෙකත් අන්තර්ජාලයේ තියනව සුජාත දියණී වගේම ලස්සනයි.Dong Yi සහ Yi San කතා මාලා දෙකේම  සුජාත දියණිය එක්ක අපි දකින නළු නිලියන් බොහොමයක් රඟපානව. Dong Yi හි ප්‍රධාන චරිතය රඟපාන්නේ චන්ගුමීගේ ප්‍රේමවන්තයා Min Jun .කතාව මුළුමනින් නරඹා තිබුනත් සිංහල හඬ කැවූ කතාව  මම නැවතත් නරඹන්නෙ කොච්චර බැලුවත් කතාවෙ රසවත් බව අඩු නොවන නිසා.
                                                            Dong Yi

                                    
                                                  Yi San


Thursday, August 2, 2012

නායකත්ව පුහුණුව

 

නායකත්ව පුහුණුව කියපු ගමන් මතකෙට එන්නෙ එස්.බී. මහත්තයගෙ හමුදා පුහුණුව උනාට මේ කතාවනම් ඒ ගැන නෙමෙයි ඕං.

රෝස කුමාරි පාසල් යන කාලෙ ඔය ශිෂ්‍යය නායිකාවක් වෙලා උන්නනෙ. ඉතින් ඒ පට්ටම ලැබෙන්න කලියෙන් තිබුන නායකත්ව පුහුණුක්. එතකොට ඉතින් මං තුමී 11 වසරෙ. මේක දවස් තුනක  නේවාසික පුහුණුවක්. ප්‍රදේශයේ ප්‍රසිද්ධ ආගමික මධ්‍යස්ථානෙක තමා තිබුනෙ. මේ වෙනකන් ගෙදර ඈයො එක්ක ඇරෙන්න එක ‍රැයක්වත් මම පිට ඉදල නෑ. ඉතින් මේ ගැන මම හිටියෙ හරි උනන්දුවෙන්. මම ගියෙ ඉතින් බාලිකා පාසලකට(කොන්වන්ට් වර්ගයේ). ඉතින් ඔක්කොම ගෑණු ළමයි  60ක් 70 වක් හිටිය. පාසල් යනකාලෙ මම ඔය ටැප් වලින් එහෙම වතුර බොන්නෙ නෑ. ඒ විතරක් නෙවෙයි කොහේ ගියත් අලී බෝතලයකට වතුර අරගනතමා යන්නෙ. ඉතින් දැන් මට හරි ප්‍රශ්නෙ දවස් තුනක් නොදන්න තැනක වතුර බොන එක ගැන. දහ අතේ කල්පනා කලා මේ ගැන. අන්තිමට ටිකිරි මොලේට ආව අයිඩියා එකක්. ඔන්න දැන් ඒ පුහුණුවට යන දවසෙ මම ආව පාසලට. හැමෝගාවම ටිකක් විශාල පාසල් බෑග්.අපි නවාතැනට ඇවිත් ඇදක් එහෙම ‍තෝරගෙන  ඒවට දාන්න බෙඩ්ෂීට්ස් ගන්න බෑග් එක ඇරිය. ලග හිටිය යාළුව බය උනා මගෙ බෑග් එක දැකල. මොකද දන්නවද ඒකෙ පිරිල තිබුනෙ වතුර පුරවපු  මෙගා බෝතල්......යාළුවට හොන්දටම හිනා ඒ මදිවට අනිත් අයටත් කියල ඔක්කොමල මට ඉතින් හිනා උනා. ඒත් ඔන්න හවස් වෙද්දි කට්ටිය අහනව. "රෝස කුමාරි ඔයාගෙ වතුර එකෙන් ටිකක් දෙන්න පුළුවන්ද කියල" මට ඉතින් තරහයි මාව විහිළුවට ගන්නව කියල. බලද්දි ඒ ගොල්ලො වතුර ඉල්ලල තියෙන්නෙ ඇත්තට.මොකද එහෙ වතුර හොඳටම කිවුල් ලු.

ඒ දවස් තුන හරිම සුන්දරයි. අපිට පුහුණුව ලබාදෙන්න සහෝදරයො දෙන්නෙක් සහ සහෝදරියක් ඇවිත් හිටිය ඒ සඳහා සුදුසුකම් ලබපු. අක්කනම් කෙට්‍ටුයි උසයි, අනිත් දෙන්නගෙන් එක අයිය කෙනෙක් හොඳට මහතයි අනිත් එක්කෙන හරි කෙට්‍ටුයි පොඩියි. අපි මෙයාලට නම් දාගත්ත ජිම් පප්ප, චූටි කුකූ සහ සුදු චූටි කියල. එයාලත් දන්නව ඉතින් අපි එහෙම කියනව කියල. අන්තිමේට යනදවසෙ අපි ඒගොල්ලන්ට දුන්න ස්තූති පතේ පවා ලිව්වෙ එහෙමයි. එයාලට අමතරව පූජකවරු, ගුරු මහත්ම මහත්මීන් ආදියත් ආව දේශන වලට. අර තුන්දෙනා කලේ අපිට එක එක ක්‍රියාකාරකම් ලබාදීපු එක. මේ ගොඩක් ක්‍රියාකාරකම් අපිට සෙල්ලම් වගේ උනාට අන්තිමට අපිට ඒවයින් ඉගනගන්න දේවල් ගොඩක් තිබුන.

 ඒ එක ක්‍රියාකාර කමක් මෙන්න මේ විදියයි. එයාල අපිව කණ්ඩායම් වලට වෙන්කරල නායකයො පත් කලා. ඊළගට අපිට බීම බට වගයක් හා ඇල්පෙනිති ලබාදීල කිව්ව කැමති නිර්මාණයක් නියමිත වෙලාවට කරල පෙන්නන්න කියල. අපි තීරනය කලේ ගෙයක් නිර්මාණය කරන්න. අපේ කණ්ඩායමේ නායිකාවගෙ වැඩේම අනේ ඔයාලගෙ අතේ ඇනෙයි  ඔය ඇල්පෙනිති. "පරිස්සමින්,ඔය බලන්න ඒක මලකඩ කාල ඒක අල්ලන්න එපා" කිය කිය වදයක් වෙන තරමට කියවපු එක.   ඉතින් අන්තිමේදි අපෙන් අපේ නායකයා කොහොමද කියල ඇහුව. කට්ටිය දැන් එක එක ඒව කියනව. අපේ කණ්ඩායමේ අය කිව්ව "මෙයා නිකන් අපේ අම්ම වගේ අරම වෙයි මෙහෙම වෙයි කිය කිය ඇල්පෙනිත්තවත් අල්ලන දෙන්නෙ නෑ" කියල.  එක කණ්ඩායමක ඇරෙන්න අනිත් කණ්ඩායම් වලත් තත්වෙ ඕකයි නායකයට බැනුම් . එක කණ්ඩායමක නායකය කිසි දෙයක් කරක නතුව කයිය ගගහ ඉදල ,තව එකක නායකය තනියම වැඩේ කරල අනිත් අයගෙන් උදව් නොගෙන .දරුණුම තත්වෙ තිබුනෙ ඉතිරි කණ්ඩායමේ. ඒකෙ නායකය තනිකර ඕඩර්ස් දීල ඒ මදිවට් හෙන සද්දෙත් දානවලු. ඒ කණ්සායමේ සමහ අය ඇඬුවත් එක්ක.
 ඇත්තටම මෙන්න මේකයි වෙලා තියෙන්නෙ, ඒ ක්‍රියාකාරකම කරල තියෙන්නෙ අපිට නායකයින් වර්ග පහ කියල දෙන්න.(අලස,මාතෘ/පීතෘ, ඒකාධිපති,අවිශ්වාසී හා ප්‍රජාතන්ත්‍රවාදී) පුහුණු කණ්ඩායම කලින් කීපදෙනෙක් තොරගෙන ඒ අයට මේ ගැන කියල දැනුවත් කරල තිබිල තියෙන්නෙ.ඒ හැමෝම කරල තියෙන්නෙ රඟපෑමක්. ඒ ගැන දැනගත්තම වැඩියෙන්ම සතුටූඋනේ ඒකාධිපති නායකය හිටිය කණ්ඩායමේ අය. "අම්මෝ ඇතියන්තම් අපි හිතුවෙ මෙයා එක්ක කොහොම එකට වැඩකරන්නඩ කියල" එහෙමයි එයාල කිව්වෙ. මේ මුළු නාටකය පුරාම නොසැලුනු කෙනෙක් තමා මේ රෝස කුමාරි.(මං කොහොමත් වීරයනෙ). මගේ ඥාති සොයුරියක් කලින් ඔය ශිෂ්‍යය නායක පට්ටමක් ලැබිල මේ පුහුණුවට ඇවිත් තිබුන. ඈ ඉතින් අපිට A to Z වාර්ථාකරල තිබුනෙ. මම වගේම තව කීපදෙනෙක් ඇවිත් හිටිය කලින් දැනුවත් වෙලා.පුහුණු කණ්ඩායමටත් මේ ගැන ඉව වැටිල  අපෙන් ඇහුව අපිත් ඉතින් ඇත්තම කිව්ව. ඊලඟට එයාල අපෙන් පොරොන්දුවක් ගත්ත ඒ පුහුණුවෙ කෙරුනු ක්‍රියාකාරකම් කාටවත් කියන්නෙ නෑ කියල. මාත් ඉතින් කිව්වෙ නෑ කාටවත්ම.මේ බ්ලොග් එකේ"ලිව්ව" ඇරෙන්න

Thursday, July 5, 2012

ගිනිකෙලි

ඇමරිකානුවන්ටද අපට වාගේ නිදහස් දිනයක් ඇත. ඔවුන් එය සමරන්නේද අප වාගේම  බ්‍රිතාන්‍යයෙන් නිදහස් වූ නිසාය. සෑම වසරකම ජූලි 4  වනදා සමරන ඇමරිකානු නිදහසට "ෆයර් වර්ක්ස් " හෙවත් ගිනි කෙලි නැතුවම බැරිය. මේ ඇමරිකාවට මා පැමිණි පසු ගෙවෙන හතරවන නිදහස් උත්සවයයි. ගිය අවුරුදු තුනේ වාගේම විශාල පිට්ටනියක පෙන්වන ගිනිකෙලි සංදර්ශණය බැලීමට මෙවරද මම ගියෙමි.  ලංකාවේදී අහස් කූරු,නිලා ,චක්කර  දල්වා මා ලැබූ ප්‍රීතියම නොවුනත් ඒ අලංකාර ගිනිකෙලි දර්ශණවලින් මගේ සිත සතුටින්  පිරී යයි. ඉතින්,
 " ඇමරිකා" ඔබට සුභ නිදහස් දිනයක් !!!!

Monday, July 2, 2012

හැඩකාර බිත්තර





කාලෙකට කලින් රෝස කුමාරි පාසල් යනකාලෙ අත් වැඩ කියල විෂයක් තිබුන. පුංචි කාලෙ අපි "හාව" ඇඳල පුළුන් ඇලෙව්ව,මදටිය ඇටයක් තමා ඇහැ. තව වේලපු මල් , ඇට ජාති වලින් එහෙමත් නිර්මාණ කළා. රෝසකුමාරිටත් පහ වසරෙදි ලැබුන තෑග්ගගක් pistachios පොතු වලින් අලවපු කුකුලෙකුට. ඔය වගේ නොයෙකුත් අත් වැඩ අතර හරිම ප්‍රසිද්ධ අත් වැඩක් තමා බිත්තර ක‍ටුවලින් වම්බ‍ටු නිර්මාණය කරන එක. බිත්තර ක‍ටු හරිම ලේසියෙන් බිඳීයනව. ඉතින් හරිම පරිස්සමෙන් තමා ඒ වැඩේ කරන්නෙ. ඉතින් මේ තරම් ඉක්මනින් බිදීල කුඩුවෙලා යන බිත්තර ක‍ටුවල ලස්සනම ලස්සන කැටයම් කපන එක කොච්චරනම් අමාරු කටයුත්තක්ද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.
ලංකාවෙ ඒතරම් ජනප්‍රිය නොවුනට ලෝකයේ බොහෝමයක් රටවල Egg  Art බොහොම ප්‍රසිද්ධයි. 

මෙහෙම ලස්සන කරපු බිත්තර එකතුකරල හදපු කෞතුකාගාර පවා තියනව. ටික කාලෙකට කලින් අපි වර්ජිනියා ප්‍රාන්තයේ  museum of fine arts  නරඹන්න ගියා.  ඒ කෞතුකාගාරෙට වෙනත් "බිත්තර කෞතුකාගාරය" කින් තාවකාලිකව ප්‍රදර්ශනය සඳහා ගෙනත් තිබුන මෙවගේ ලස්සන බිත්තර තිබුන. ඒ උනාට පින්තූර ගන්න බැරි උනා ඒ වෙනකොට කැමරාවෙ බැටරි  චාජ් එක තිබුනෙ නැති නිසා . ඒ නිසා පින්තූරනම් හොරකන් කරන්න උනේ ගූගල් වලින්.

 මේ තියෙන්නෙa එහෙම ලස්සනකරපු බිත්තරක‍ටු.






මේ කැටයම් කපන්න ඕනෑම කුරුළු බිත්තර වර්ගයක් යොදාගන්න පුළුවන්. බිත්තර ක‍ටුව ශක්තිමත් වෙන තරමට හා විශාල වෙන තරමට කැටයම් කිරීම පහසුයි. එමූ කුරුල්ලාගේ බිත්තර හා පැස්බරා බිත්තර පහසුවෙන් නොකැඩී කැටයම් කල හැකි බිත්තර වර්ග දෙකක්. කිකිලි බිත්තර තාර බිත්තර ආදියෙහි එක් කොනක කැටයම් නෙලන්න කලියෙන් කුඩා සිදුරක් විදල ඇතුලෙ තියන ද්‍රව්‍යය ඉවත් කෙරෙනව.පැන්සලක් ආදාරයෙන් ඇදගන්න රූපය ඉතා සිය්ම් තුඩක් සහිත කැපුම් යන්ත්‍රෙකින් කැටයම්  කරනවා. ඕය පහල තියෙන්නෙ ඒ විදියට කැටයම් කපන වීඩියෝ එකක්.


ස්භාවික වර්ණයෙන් විතරක් නෙවෙයි ලස්සනට පාටගාපු, මුතු,ස්ර්වපිත්තල ආදිය අලවපු ලස්සනම ලස්සන බිත්තර මේ බිත්තර එකතුවල දකින්න ලැබෙනව. නිකන්ම නිකන් ලස්සනට තියන්න විතරක් නෙමේ ආභරණ දාන මන්ජුසා හැටියටත් මේ ලස්සන කැටයම් බිත්තර නිශ්පාදනය කරනව.විනෝදාංශයක් විදියට කැටයම් බිත්තර එකතු කරන අයත් ඉන්නව. මේ හැඩකාර බිත්තර අලෙවි වන්නේ ඉතා ඉහල මිලගනන් වලට. 

ඔන්න ඔහොමයි බිත්තරේ විස්තරේ. මේක කියවල ඔන්න ඔයාලටත් බිත්තර කැටයම් කරන්න හිතුනොත් කාටද ආඩම්භර......


Monday, June 25, 2012

හිම කිරම

මේ ගෙවෙන්නෙ සමර් හෙවත් ග්‍රීෂ්ම සෘතුව . පුදුම රස්නයක් දැනෙන්නෙ. එලියට අඩිය තියද්දිම හරිම මහන්සියක් දැනෙනව ඇඟට. සමකාසන්න, ඝර්මකලාපීය රටකින් ආව අපිට ඉර අවූව,රස්නය අමුතු දේවල් නෙමේ. ඒත් මෙහෙදි දැනෙන රස්නය හරිම වෙනස්. ලංකාවෙදි අපි කොච්චර කට්ට අවුවෙ ඇවිදිනවද . ඒත් මෙහේ රස්නයත් එක්ක එන්නෙ ඔළුව කැරකෙන ගතියක්. ඒකට ප්‍රධානම හේතුව මෙහේ හිය්මිඩිටි එහෙමත් නැත්නම් වාතයේ ජල වාෂ්ප ප්‍රමාණය හරිම අඩු එක. ඒ නිසා හරිම වියලි ගතියක් තමා පරිසරයෙ තියෙන්නෙ. ලස්සන කොල පාටට ගස් කොලන් දිලිසුනාට මේ අවුවෙ ඒ ලස්සන විදින්න එලියට බහින්න විදියක් නෑ. සමහර වෙලාවට හීට් වෝර්නින්ග් දෙනව. රස්නෙ උනාට දාඩිය දාන්නෙ නැම. ඒ නිසා තවත් ඇඟට අමාරුයි ,මොකද ඇඟ සිසිල් වෙන්න්නටනම් ක්‍රමයක් නෑනෙ. හුලං හමනකොටනම් ඔන්න තරමක් සනීපයි. ඔන්න ඔහොමයි රස්නෙ කාලෙට මෙහෙ. ඉතින් මේ කාලෙ ජනප්‍රියම කෑම තමයි "අයිස් ක්‍රීම්"

කවුද අයිස් ක්‍රීම් කන්න අකමැති, බාල මහළු හැමෝම ආස කෑමක්නෙ . අපේ මාමනම් හැබැයි ඔය හිම කිරම කටේ තියන්නෙ නෑ. එයා පුංචිකාලෙ පාසලෙන් අධ්‍යාපන චාරිකාවක් එක්ක ගිහින් තියනව ඔය හිම කිරම හදන තැනකට. ඒක බලල  ආපු දවසෙ ඉදන් තමාලු එයා අයිස්  කරීම් නොකන්නෙ.(කොහොමට තියෙන්න ඇද්ද තැන පොඩි දරුවෙක්ට අයිස්ක්‍රීම් එපා වෙන්න තරම්.) ම් ප්ල්ලාත් ඔය පෙට්ටි වල එන අයිස් ක්‍රීම් වලට ඒ හැටි මනාප නෑ මම ආස කෝන් එකේ දාපු අයිස් ක්‍රීම් වලට. 

 

මෙන්න මේ වගේ.

 

අපේ ගමෙ පල්ලියෙ මංගල්ලෙට එනව අයිස් ක්‍රීම් වෑන්. ඒවගෙන් අයිස් ක්‍රීම් කන්න අපි පුංචි කාලෙ හරිම ආසයි.(දැනුත් ඉතින් එහෙන තමා,ඒ උනාට ඒ ආසාව පල්ලියෙ ආගමික වැඩ ඉවර වෙනකන් හංගගන ඉන්න වෙනව දැන්) පල්ලිය වත්තට ඇතුල් වෙද්දිම අයිස් ක්‍රීම් අරන් දෙන්නකෝ කිය කිය අම්මලාට කරදර කරන එක අපේ පුරුද්දක්.අම්මලත් ,ඔයාල හොඳ ලමයි වගේ හිටියොත් යද්දි අරන්දෙනව කියල කියනව. ඉතින් පූජාවෙන් පස්සෙ හම්බවෙන අයිස් ක්‍රීම් එකත් දිව ගාමින් තමා අපි අනෙක් කඩවල ඇවිදින්නෙ. ඒ අයිස් ක්‍රීම් වල රස අපිට දිව්‍යලෝක රසයි.  වයසින් වැඩුනට පස්සෙනම් මට තේරුනේ ඒ රස දැනෙන්නෙ අයිස් ක්‍රීම් එක ඒ තරම් රස නිසා නෙවෙයි. ඒ රස එන්නෙ අපේ හිතින් ඒත් එක්ක විදින මානසික ස්තුටින් කියල. අදටත් මම කඩේ තියන අයිස් ක්‍රීම් කෝන් ගෙනත් ඒවට අයිස් ක්‍රීම් පුරවගන කන්න තමා කැමති.

 අයිස් ක්‍රීම් වලට දීර්ඝ ඉතිහාසයක් තියනව.  පර්සියානු අධිරාජ්‍යයේ මිනිස්සුන් ඉතා අතීතයේ හිම කැටි දැමූ භාජනවලට මිදි යුෂ වත් කර  විශේෂ අවස්ථාවලදී ආහාරයට ගෙන තිබෙනවා. බු.ව. 200 පමන කාලයේදී චීනයේ මිනිසුන් කිරි සහ බත් එක්කර සිසිල් මිදීමට ලක් කර ආහාරයටෙ ගෙන තිබෙනවා. අරාබින්, මොන්ගෝලියන් වරු,ඉතාලිය ප්‍රංශය ඇතුලු රටවල් බොහොමයක් ඉතා අතීතයේ අයිස් ක්‍රීම් වල මුත්න් මිත්තන් කියල හිතන්න පුලුවන් ආහාර භාවිත කරල තියනවා.

අයිස් ක්‍රීම් වල ප්‍රධාන වශයෙන් අඩoගුවෙන්නෙ කිරි සහ සීනි.ඊට අමතරව එක් එක් රස වල රසකාරක ආදිය භාවිතාවෙනව. මගේ ලොකු අම්මා ගෙදරදීම අයිස් ක්‍රීම් හදන්න පුරුදුවෙලා හිටිය. මටනම් ඔය සාස්තරේ ඉගනගන්න බැරි උනා. දැන් උනත් අහගන හදන්න හිතෙන්නෙ නැත්තෙ ඉතා ලාබෙට පහසුවෙන් අයිස් ක්‍රීම් මිලදී ගන්න තියෙන නිසයි. කාලෙකට ඉහත හරිම සද්දෙට සංගීත හඬකුත් එක්ක වෝල්ස් වෙලෙන්දො හැම තැනම ගියා. අපේ  සුදු පුංචි ඒ වෝල්ස් අයිස් ක්‍රීම් රුසියෙක්. ඒ බව දන්න අපි ඒ සද්දෙ ඇහෙනකොටම එයාගාවට දුවගන ගිහින් අයිස් ක්‍රීම් මිලදීගන්න උනන්දු කරනව.

 අදත් රස්නෙ වැඩි දවසක්. වායුසමීකරනය  නිසා ගොඩ නැඟිලි ඇතුලෙ ඉන්න පුළුවන් උනත් එලියට යන්නනම් බෑ. ජනේලයෙන් අවුවෙ සැර පේනව හොන්දට . ම්ම්ම්ම්ම් අයිස් ක්‍රීම් එකකට හොඳ වෙලාව...


Saturday, June 9, 2012

රෝස කැළේට අවුරුද්දයි !!!!


මීට හරියටම අවුරුද්දකට කලියෙන් තමා මම මේ පුංචි රෝස කැළේ වවන්න ගත්තෙ. අද එයාගෙ අවුරුද්දෙ උපන්දිනේ. මගේ පුංචි බ්ලොග් එක බ්ලොග් පෝස්ට් මහා ගොඩකින් සරසන්න මට පහුගිය අවුරුද්දෙ බැරි උනත් අවුරුද්දක් තිස්සෙ මගෙ බෝරින්ග් කතා අහගන හිටපු  හැමෝටම ගොඩාක් ස්තූතියි.  ඉතින් මේ රෝසමල් අවුරුද්දක් මා එක්ක ‍රැඳුනු, මාව දිරි ගන්වපු ඒ වගේම රෝස කැළේට මම මාස ගනන් නෑවිදින් ඉන්න කොට ඒක බලා ගත්තු ඔයාල හැමෝටම .....

Monday, June 4, 2012

‍රැජිනගේ ඉංග්‍රීසි හා යැංකි ඉංග්‍රීසි.


මගේ ඥාති සහෝදරයන්ට හරියට මිත්රයො හිටිය හැබැයි ඉතින් ඔය ගොඩක් යාළුවන්ට මෙයාල කතාකලෙ ඉස්ස, පොකිරිස්ස, වොචා, කේටුව වගේ හරිම ස්වීට් පෙට් නේම්ස් වලින්.අපිත් ඉතින් ඔය ළමයින්ව දන්නෙ ඔය කියන පෙට් නේම්ස් වලින්. ඇත්ත නම්නම් කවදාවත් ඇහිල නැති තරම්. ඉතින් ඔය නම් දාන්නෙත් නිකන්ම නෙමේ . ඔය නම් වලට නිදාන කතාත් තියනව. ඔන්න ඔය විදියට ඔය යාළුවො අතර හිටිය "කනව්ව " කියල ළමයෙක්. ඉතින් ඔය නම වැටිල තියෙන්නෙ මෙන්න මෙහෙමයි.

ඉංග්රීසි උගන්වන්න පන්තියට ආපු ගුරුතුමී දැන් එක එක ළමයගෙන් පුන්චි පුන්චි ප්‍රශ්ණ අහනවළු.

ටීචර්- ඔය ලමය කියන්න බලන්න "Now" කියන්නෙ මොකක්ද?
ළමයා- නව්
ටීචර් - එහෙනම් කියන්න බලන්න කියන්න "Know"  මොකක්ද?
ළමයා- කනව්

 මේ දෙවන සිද්දිය  උනේනම් විශ්ව විද්‍යාලෙක. කැම්පස් එකේ හිටියළු බොහොම ඉංග්‍රීසි පන්නෙට හදුන සින්හල පටල පටල කතාකරන ගෑණු ළමයෙක්. මේ ඇත්තිත් ඉතින් යන්නෙ අඩියක් දෙකක් උඩින් ලු. ඉතින් ඔය හැසිරීම පිරිමි ළමයින්ට එහෙම අල්ලන්නෙම නෑලු. ඉතින් දවසක් ඔය විදියට මොනව හරි දෙයක් සම්බන්දයෙන් පිරිමි ළමයෙකුයි මේ ගෑණු ළමයයි විවාද කරනවලු. සින්හල ඉංග්‍රීසි කලවම් කමින් වාද කරපු මේ ගෑණු ළමය ඔය වාදෙ කොටසකදි "How come ? " කිව්වලු. එතකොට අර පිරිමි ළමය ගත් කටටම කිව්වලු "මම අද නම් ආවෙ බස් එකේ" කියල.

 අනේ ඉතින් වීරය වගේ මේ කතා දෙක කිව්වට මොකද රෝස කුමාරිගෙ එකම ප්‍රාර්ථනාවනම් මේ සිද්දියට අදාල ඇත්තො සිංහල බ්ලොග් කියන්නෙ මොනාද කියලවත් දන්නෙ නැති වෙන්න කියල. මේක ඒ ඇත්තො කියෙව්වොත් රෝස කුමාරි ඉවරයි.


රෝස කුමාරිට මේ ඉංග්‍රීසි කතා මතක් උනේ Analyzing Paper  එකක් ලියල ,එකේ සහර වචනවලට ඉරි ඇදල තිබුන දැක්කම. අපි ලංකාවෙ ඉගන ගන්න British English සහ American English අතර කුඩා වෙනස්කම් තියනව.අක්ෂර වින්‍යාස වෙනස් කම් තමයි වැඩිපුර තියෙන්නෙ. මගෙ Paper එකේ ඉරි තිබුනෙත් ඔය වගේ අක්ෂර වින්‍යාස  වෙනස්කම් වලට. ඒ වගේම Past tense වලත් වෙනස් කම් තියනව.උදාහරණයක් විදියට මෙහේ Learnt වෙනුවට  භාවිතාවෙන්නෙ Learned.

රෝස කුමාරිටත් ලගදි හොඳ වැඩක් උනා. රෝස කුමාරි ගෙදරත් එක්ක ගුවන් ගමන් මාර්ග ගැන  කතාව. 
 රෝස කුමාරි-  දිස් රෞට් (Route) ඊස් චීප්..  අපි මේක බලමු
අම්ම- රෞට්????   රූට් ළමයො.  (භයෙන් ත්‍රස්ථ වූ හඩින්)
රෝස කුමාරි - අහ් !!!!

හී හී හී ....මෙහේ රූට් වෙනුවට භාවිතාවෙන්නෙ රෞට් කියල  දැන් අපිත් ඒ වචන පාවිච්චියට පුරුදු වෙලා. බ්‍රිතාන්‍යය ඉංග්‍රීසි පාවිච්චිකරන ලංකාවෙ අය ඒ විදියෙ වචනයක් ඇහුනම  කලබල වෙන එක පුදුමයක් නෑ.අපේ අම්මට කාරණාව පැහැදිලි කරාම කිව්වෙ" මම මේ බැළුව පොඩි කාලෙ ඉදන් උගන්නල මේ ළමය මේ මොනා කියනවද කියල"

ඒ වගේම මෙහෙ "ටෙක් අවේ" වෙනුවට භාවිතා වෙන්නෙ "‍ටු ගෝ "කියල.

 මීට අමතරව අපි ඉංග්‍රීසි භාවිතයෙදි කරන සමහර වැරදි තියනව. 
ගෘහ භාණ්ඩයකට අපි furniture කියනවනෙ එහි බහු වචනයත් furniture මිස  furnitures නෙමෙයි.
මේ වැ‍රැද්දනම් ගොඩ්ඩක් අයට සිද්ද වෙන වැ‍රැද්දක්. බල පත්‍රය කියන වචනයේ ඉංග්‍රීසි පදය විය යුත්තේ "license" (ලයිසන්ස්) කියන
එක. ලයිසන්  කියන වචන වැරදියි. එහි බහු වචනය "licenses" (ලයිසන්සස්) විය යුතුයි.
මේ මට මතකෙට ආපු කීපයක්. ඔයාලටත් මේවගේ වචන මතක්වෙනවනම් දාන්න කමෙන්ට් එකක ලියන්න.

 


Tuesday, May 29, 2012

පාළු ගෙදර


මම බොහෝම කාලෙකට ඉස්සර පොතක් කියෙව්ව අළුත් තාලෙ නැන්දම්මල ගැන ලියවුන. පොතේ නමත් අළුත් නැදම්මලා වගේ තමයි මට මතක. ඒ පොතේ තියෙන්නෙ සාම්ප්‍රදායක නැන්දම්මා චරිතයෙන් මිදුන නැන්දම්මල ගැන කතන්දර.
මගේ ජීවිතේට මම දැකපු හොඳම නැන්දම්ම මගේ ලොකු අම්ම, ඒ කිව්වෙ මගේ අම්මගේ අම්ම. ඒ පවුලට ඉන්න එකම පුතා අපේ මාම නිසා ලොකු අම්මට ඉන්නෙත් එක ලේලියි. අපේ මාම ගැනනම් මම පරණ පොස්ට් වලින් ලියල තියනවනෙ. අපේ නැන්ද ගුරුවරියක්, ඉතින් උදේ නැඟිටල වැඩට යන අපේ නැන්ද පස්සෙන් කිරි වීදුරුවකුත් අරන්  කැරකෙන ලොකු අම්මගේ දර්ශනය මට තාම මතකයි.  මගේ ලොකු අම්ම කියන දෙයක් තමා පිටින් පෞලට බඳුනු කෙනාගෙ හිත මොන විදියෙන් වත් රිද්දන්න හොඳ නෑ කියල. මොකද ඒ අයගෙ හිත රිදුනොත් හදන්න ලේසි නැති නිසා.
 බඹර කුමාරයගෙ අම්ම මාස දෙකක් අපි බලන්න ඇවිත් ඉඳල ගිය සතියෙ ආයෙමත් ලංකාවට ගියා.වෙඩින් එකෙන් හරියටම සතියකට පස්සෙ මෙහේ ඉඟිල ආපු නිසා බඹර කුමාරයගෙ පවුලෙ උදවිය එක්ක මට ඒ තරම් කාලයක් ගතකරන්න උනේ නෑ. ඒ නිසාම අම්ම එද්දි මට පුන්චි චකිතයක් නොතිබුනාම නෙමෙයි.(අහන්න ලැබෙන්නෙම නැන්දම්මලාගෙ නපුරු කම් නෙ) . ඒත් මෙහේ හිටපු මාස දෙකේදි මාත් අම්මත් බොහොම කිට්ට්‍ටු උනා. හරිම බිසී පුතාට වඩා කොච්චර වැඩ අස්සෙ උනත් අම්ම එක්ක රවුම් ගහන්න ඉන්න ලේලිව අම්මට හිතට ඇල්ලුව. අම්ම හිටපු මාස දෙකේ රස කෑම අම්ම අතින් ඉවුන. මාත් ඉතින් මම දන්න වෙනස් වෙනස් කෑම ජාති හදල දුන්න. වෙන කවරදාටත් වඩා ඉක්මනින් දවස් ගෙවිල අම්ම ආපහු යන දවස උදාඋනාම තමයි ප්‍රිය වියෝව ලංකාවෙ අපිට දරාගන්න අමාරුයි කියල ආයෙත් මතක් උනේ. අම්ම ගියාම මුළු ගේම පාළුවට දැනුන. අපි දෙන්නට මේ පුංචි ගේත් ලොකු වැඩියි වගේ හිතුන. දවසක් දෙකක් හරි විදියට කෑමක් කෑවෙත් නෑ අපි. අම්ම ගියාම බඹර කුමාරය කිව්වෙ ආයෙනම් කවුරුත් අපි බලන්න නාවට කමක් නෑ කියල. ඒ අකමැත්තකට එහෙම නෙමේ එයාල ආපහු යනකොට දැනෙන තනිකම දරන්න අමාරු නිසා.
  
ගොඩක් අම්මල පුතාලට තමයි වැඩියෙ කැමති. පුතාල ඉන්න පවුල්වල අය උනත් තවත් පුතාල පවුලට එකතුවෙනවට තමා කැමැත්ත. ඒත් පුතාල දෙන්නෙක් ඉන්න මගේ නැන්දම්මනම් දුවාලට තමා මනාප. මල්ලි තවම පොඩි එකා. මම ඉතින් තවම එකම ලේලි. දුවෙක්ට ඉන්නෙ ඉත්න් මම තමා.ඒ නිසාමද මන්ද මට ලැබුනු ප්‍රතිචාරනම් බොහොම ඉහලයි. ඈගේ ක්‍රියාකලාප දිහා බලපු මට හිතුනෙ මගේ නැන්දම්මත් "අළුත් නැන්දම්මා" කෙනෙක් නේද කියල. ලේසියටත් පහසුවටත් මම කකුල් දෙකට ඔබාගන දුවන මගේ බැලරිනා සපත්තු දෙක දාල දාලම පරණ වෙලා. අළුත් එකක් ගන්න ඒත් උවමනාවක් උනේ නෑ. එක දවසක් සපත්තු කඩයකදි බඹර කුමාරයට අම්ම තරහින් මෙහෙම කියනව 'රෝස කුමාරිගේ අර බැලරිනා සපත්තු දෙක දැන් හොදටම පරණ වෙලා අරන් දෙන්න ඒ ළමයට අළුත් දෙකක්".

නිවාඩු නැති නිසා අපිට ලොකු ගමන් යන්න බැරි උනත් කොහොමෙන් කොහොම හරි නයගරා බලන්න ඈව එක්ක යන්න අපිට පුළුවන් උනා. අපිත් ඉතින් දෙවනි වරටත් නයගරා දැකබලාගත්ත.  අම්ම ඒ ගමනින් ගොඩක් සතු‍ටු උනා අම්ම කෙනෙක් එහෙම ලස්සන තැනක් බලන්න එක්ක යන්න ලැබෙන එකත් පිනක් නේද කියල මට ඒ වෙලේ හිතුන. අම්ම මෙහේ හිටිය මාස දෙකේ මෙහේ ජීවිතේ ගැන කිසිම මැසිවිල්ලක් නැඟුවෙ නෑ ගොඩක් අම්මලට මෙහේ දවසින් දෙකෙන් එපාවෙනවනෙ. ඈට තිබුනු එකම දුක මල්ලිත් තාත්තත් මේ ගමන ආපු නැති එක. මල්ලිගේ විභාග කටයුතු නිසා ඒ දෙන්නට එන්න බැරි උනා.

 හරිම ඉක්මනින් ගෙවුන මාස දෙකකට පස්සෙ ආයෙත් අපි දෙන්න ගෙදර විතරක් නෙමේ මේ රටෙත්තනි උනා. අද මේ සටහන තබන්නේ මාස දෙකක සතුට ගෙනා බඹර කුමාරයාගේ අම්මා වෙනුවෙන්

Monday, May 7, 2012

ටෝෆු

වෙජිටේරියන් එහෙමත් නැත්නම් ඔය එලවළු විතරක් බුදින ශාක භක්ෂක වෙන එක ඉතින් ලේසි පාසු දෙයක් එහෙම නෙමෙයි. මම ඉතින් "‍ෆිෂ් ටේරියන්" . මාළු හා ඉස්සන් විතරක් කන මස් නොකන මට ගෙදර අය කියන්නෙ ‍ෆිෂ් ටේරියන් කියල. බඹර කුමාරයනම් එග් ටේරියන් කෙනෙක්.ඉතින් ඓ දෙන්නට කෑමක් දෙනකොට ඒ අය හරි අමරුවක වැටෙනව, මස් නම් දෙන්නම කන්නෙ නෑ. මාළු ඉව්වොත් මම විතරයි, බිත්තර හැදුවොත් බඹර කුමාරය විතරයි. කොමන් ග්‍රවුන්ඩ් එකක් හොයාගන්න හරි අමාරුයි. ඒ නිසා ඔය කෑමට එන්න කියන හැමෝම අපිට හදල දෙන්නෙ "ටෝෆු"
ටෝෆු එහෙමත් නැත්නම් සෝයා බීන් කර්ඩ් කියන්නෙ ගොඩ දෙනෙක් ඒ තරම් කැමති කෑමක් නෙමේ. ඒකට හේතුව ඒකෙන් එන අමුතු රසය. චීන , තායි කෑමවලටනම් මේව නැතුවම බෑ. ඔන්න කාලෙකින් රෝස කැළේට ඇවිත් මම ඕගොල්ලන්ට දෙන්න යන්නෙ රසම රස විදියට ටෝෆු හදාගන්න පුලුවන් රෙසපි එකක්. ඔන්න එහෙන්ම් මෙහෙමයො හදාගන්නෙ.
 ඉස්සල්ලම ටෝෆු කෑලි වලට කපල ගැඹුරු තෙලෙන් බැදගන්න ඕන. (බැද ගත් ටෝෆු වල පින්තූරය අතුරුදහන් වී ඇත් ලැද විගස ඇඩ් කරමි:) )

ඒ ටික පැත්තක තියෙද්දි මෙන්න මේ විදියට ඉඟුරු, සුදුළුණු, අමු මිරිස්, තක්කාලි , ළුණු, මාලු මිරිස් කපා ගන්න ඕන. ඔය මම ලූණු කපල තියන ක්‍රමේ නම් පොඩි වැ‍රැද්දක් තියනව කො‍ටු හැඩේට කපපුවම තමා හැඩ.



භාජනයක් ලිපේ තියල රත් කරල තෙල් ටිකකුත් දාල ඒකට ඉඟුරු සුදුළූණු දාල තෙම්පරාදු කරන්න. ඒකටම අමු මිරිස් හා කෑලි මිරිස් දාන්න ඕන ඒකටම සෝය සෝස් අවශ්‍යය ප්‍රමාණයට දාන්න ඕනමෙන්න මේ වගේ.( මේ වෙලේට හොදටම කැස්ස එනව .  :(  )

ඔන්න ඊළඟට අර කපාගත්තු ජාති ඔක්කොම දනව ටෝෆු ඇරෙන්න. ළූණු වල එහ පැත්ත පෙන තත්වෙට ආවම ටෝෆු ටිකත් කලවම් කරගන්න. අන්තිමට වතුර කෝප්පෙක දියකරපු කොන් පිටි හැඳි දෙකක කලවම් කරල ලිප වහන්න. ලුණු බලල ඒකත් දාන්න.  ඔන්න දැන් මේසෙට යවන්න
 පුළුවනි. 



Thursday, May 3, 2012

කාලෙකින් ආයෙත් !

වල් වැදිල හොදටම පාලු වෙලා තිබුන රෝස කැළේට රෝස කුමාරි දුවගෙන දුවගෙන මේ ආවෙ අද ඉදන් ආයෙමත් රෝස කැළේ මල් පිපෙනව කියල ඔයාල හැමෝටම කියන්න.
අද තමයි දිග නිවාඩුවක ආරම්භය. :) වැඩ ඉවර උන ගමන්ම මේ ආවෙ ආයෙ සුපුරුදු විඩියට ලියන්න පටන්ගන්න විත්තිය කියන්න. රෝස කැළේ මල් නෙලන්න ආපු හැමෝම ආයෙත් මේ පැත්තෙ එයි කියල රෝස කුමාරි බලන් ඉන්නව.