Thursday, October 20, 2011

කඳුලේ දූපත-බලාපොරොත්තුවේ දූපත

 දින කීපයක් තිස්සේ බෝට්‍ටුවක හිරවී ගමන් කිරීම නිසා එමා තෙහෙට්‍ටුවී සිටියා. අවුරුද්දක් වයසැති මල්ලී අම්මා අයර්ලන්තයේ සිට ඔසවාගෙන ආ පිහා‍ටු මෙට්ටයට වී නිදයි. අම්මාත් තාත්තාත්  අළුත් බලාපොරොත්තුවකින් සිත් පුරවාගෙන පැද්දෙන බෝට්‍ටු බඳට හිස තබාගන නිදයි. දුඹුරු කෝට් බෑ අඳගත් දුම් උරමින් කාලය ගෙවන පිරිමින්ද දරුවන් නළවමින්ද  තමාගේ මළු තුරුල්කොටගෙන දෙවියන් යදින ගැහැණුන්ද තම පවුලේ අය මෙන්ම යන්නේ ඇමරිකානු එක්සත් ජනපදයේ අළුත් ජීවිතයක් ලබාගැනීමටය.බොට්‍ටුවේ බොහොමයක් අයර්ලන්ත ජාතිකයන්ය.තාත්තා මේ ගමනට මුදල් සොයාගත්තේ තම ගේත් ඉඩමත් විකිණීමෙනි.ඉතින් ආපසු යාමක් නැත. සියළුදෙනා දූපතේ පරීක්ෂණයෙන් සමත් වී රටට ඇතුළු විය යුතුය...


1892 සිට 1954 ද්ක්වා කාලයතුළ ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළුවූ සංක්‍රමණිකයින්ගේ ඇතුළුවීමේ ද්වාරය වූයේ "එලිස් දූපත"යි. ඉතා කුඩා දූපතක් වන එලිස් දූපතෙන් එමා වැනි මිලියන අටකටත් වැඩි ජනතාවක් ඇමරිකාවට ඇතුළුවුනා. 
මෙම මුළු දූපතටම ඇත්තේ එක් විශාල ගොඩනැඟිල්ලක් පමණයි.සංක්‍රමණිකයන්ගේ ලියකියවිලි පිළියෙල කිරීම හා වෛද්‍යය පරීක්ෂණය සිදු වූයේ මේ ගොඩනැඟිල්ල තුළයි. අද මේ ගොඩනැඟිල්ල හා දූපත සංචාරකයන්ගේ බොහොම අවදානයට ලක්වන කෞතුකාගාරයක්. ඇමරිකාව ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාව මත මෙලෙස සංක්‍රමණිකයන්ට රටට ඇතුළුවීමට නොමිලේ අවස්ථාව ලබාදුන්නා.කළයුතු වූයේ මුහුදු මාර්ගයෙන් එලිස් දූපතට ඇතුළුවී වෛද්‍යය පරීක්ෂණය සමත් වීමයි.
සරලයි වගේ පෙනුනට  මේ කටයුත්ත එතරම් පහසු කට යුත්තක් වුනේ නෑ. දවසකට සිය දහස් ගණනින් බඩුමළු උස්සන් මිනිස්සු එලිස් දූපතේ ..විවිධ සංස්කෘතීන් ඇති මිනිසුන් ගොඩක්.....   මේ අය ගැහැණු සහ ළමයි වෙනමත් පිරිමි වෙනමත් කොටස් කරල වෛද්‍යය පරීක්ෂණයට යවනවා. තමාගේ ස්වාමියා,බිරිඳ,දරුවන් ගෙන් නොදන්න දේශයක මොහොතකට හෝ වෙන්වෙන්නෙ බොහොම බයෙන්.ඒ විතරක් නෙවේ , සමහර අවස්ථාවක පවුලේ සමහරුන් වෛද්‍ය පරීක්ෂණය අසමත්වී ආපසු තමාගේ රටට පිටත් කර හරිනවා. පිටත් කර හැරි පුද්ගලයා පියානම් මවටත් දරුවන්ටත් ඒ ගැන දැනගන්න වෙන්නේ රටට ඇතුල්වූ පසුවයි.මොකද පිරිමි සහ ගැහැණුන් පරීක්ෂාවට ලක්වන්නේ වෙනම නිසා. අසමත් වූ අයට මෝනම හෙතුවක් මතවත් බෝඩරයෙන් මෙහාට එන්න ලැබෙන්නෙ නෑ.මව ඒ ගැන දැනගන්නවිට සමහරවිට පිය ‍රැගත් බෝට්ට්‍ටුව පිටත්වෙලා ඉවර වෙන්නත් පුළුවන්. මේ වගේ දුක්බර කතා වගේම රටට ඇතුළුවී ජීවිතය ජයගත් අයත් බොහොමයි මේනිසා එලිස් දූපත "කඳුලේ දූපත" හා "බලාපොරොත්තුවේ දූපත"(Island of tears-Island of hope)යන නම්වලින් හදුන්වනවා. මේ එලිස් දූපතේ කතා තේමාකරගන ලියවුන පොත් වගේම නිපදවූ චිත්‍රපටත් බොහොමයි. අද සංචාරක ආකර්ශණීය නැරඹුම් ස්ථානයක් වන එලිස් දූපතට පිහිට තිබෙන්නේ ඉහල නිව්යෝර්ක් මුහුදු බොක්කේ. මේ දූපතට නිව්යොර්ක් නගරයේ සිට ෆෙරී එකකින් ගමන් කරන්න පුළුවන්.







 

Wednesday, October 12, 2011

ලිවීම සහ ඉවීම


බැලූ බැල්මට ලිවීම සහ ඉවීම පරිප්පු සහ බෝල්ට් ඇණ වගේ එකිනෙකට කිසි සම්බන්දයක් නැති දෙකක් කියල හිතුනත් ලිවීම ,ඉවීමත් එක්ක බොහොම ගැඹුරු සම්බන්ඳයක් තියනව.
ඉවීමේදී අපි අවශ්‍යය කලමනා සියල්ලම එකතුකරල දන්න හැම රසකාරකයම දාල රසට උයනවා. ලිවීමේදීත් කරන්නෙ ඕකම තමා සියළු රස වචන හා අලාංකෘත යොදල පාඨකයාට රසවත් ලියවිල්ලක් හදනවා.
ඒ ඇරුනම ඉතින් ඔය ගොඩක් සූප සාස්තරයෙන් පරතෙරට ගිය උදවිය ආහාර වට්ටෝරු පොත් ලියනව.ඒ වගේම ඔය ලියන අයත් ඉතින් ගොඩක් වෙලේට ඉවීම ගැන ලියනව.
ගොඩක් බ්ලොග් අඩවි වල අඩුම තරමෙ ආහාරයක් ගැන එහෙමත් නැත්නම් ආහාර වට්ටෝරුවක් ගැන අඩුමගානෙ එක පොස්ට් එකක් වත් තියනවනෙ. ඉතින් මෙහෙම බලද්දි ඉවීමයි ලිවීමයි බොහොම නෑකම් කියන බවකුයි පේන්නෙ.ලිවීම සහ ඉවීම දෙකම ගොඩක් වෙලේට පුද්ගලයා අනුව වෙනස් වෙනව. ප්‍රේම කතා බිහිසුනු කතා සටන් කතා... කිරට,මිරිස්ට තෙලට....එකම කෑම උනත් එක එක්කෙනා උයන්නෙ එක එක විදියට.
රටකින් රටකට සාහිත්‍යය වගේම ආහාර සංස්කෘතියත් වෙනස්.අපි අවම වශයෙන් එක්වේලක්වත් බත් කෑවට හැම රටේම බත් ප්‍රාධාන ආහාරය නෙමෙයිනෙ.
අපේ පවුලේ නිල නොවන රීතියක් තියනව කසාද බදින තුරු පවුලේ ගැහැණු දරුවන්ට කියල ගෙදර කුස්සියේ වැඩ නොගන්න.එ රීත්තියේ නිධාන කතාව වෙන්නේ කසාද බැන්දාට පස්සෙ ගෑණු ළම්යුන්ට උයන එකෙන් නිදහස් වෙන්න බෑනෙ.ඉතින් ඉදිරි ජීවිතේ උයන එක ජීවිතේකොටසක් වෙන නිසා බදින්න කලින් දුවලට ඒ වැඩ කරන්න දෙන්නෙ නෑ. ඔය හේතුව උඩ ඉතින් අපේ අම්මාට සහ සහෝදරියන්ට ඔය උයන කලාව ඉගනගන්නවෙලා තියෙන්නෙ නැන්දම්මලාගෙන්. ගෙදර ඉන්න දවස්වල මම කුස්සිය පැත්ත පලාතෙ එනවට කවුරුවත් කැමතිනෑ. මම සමහර දවසට බලෙන්ම යනව උයන්න ඉගනගන්න කියල.
"මටත් උයන්න ඉගන ගන්න ඕනෙ...මාත් මොනාහරි කරන්නම්.."
"ඔක්කොටම කලින් පොල්ගාන්න ඉගනගන්න එපැයි.එහෙනම් ඔය පොල් ගෙඩිය ගාන්නකො බලන්න"
ඔය විදියට හැමදාම මට දෙන්නෙ පොල්ගාන්න. අපේ ගෙදර තිබුනෙ අර මේසෙට හයිකරන හිරමණයක් එකෙන් පොල්ගාන්න ඉතින් ඕන කෙනෙකුට පුළුවන්නෙ.ඕකෙ ආයෙ මොනා ඉගනගන්නද.ඉතින් මම කිව්වොත් අනේ මට පොල්ගාන්න දන්නවනෙ කියල ඔන්න ඒකට ලැබෙන උත්තරේ."ආ බලමු හරියට දන්නවද කියල... කො ඉත්න් ගාල පෙන්නන්නකො" ඔය විදියට මම කලේ හැම දාම පොල්ගාපු එක.ඒකාලෙ පොල් ගාන්න් විතරක් දැනගන හිටිය මම දැන් බොහොම හොඳට උයන්න පුළුවන් (අවම වශයෙන් අනිත් අයට කන්න පුළුවන් තත්වෙට උයන) කෝකියෙක්. වැඩේ කියන්නෙ මෙහෙ පොල් නෑ,තියෙන්නෙ පොල් කිරි ටින්!
මගේ ඉවීමේ රහසනම් ඉතින් ඔය ලිවීමට සම්බඳයි. ඒ කිව්වෙ මම උයන්න ඉගනගත්තෙ සූප ශාස්ත්‍ර පොත් වලින්.ඊට අමතරව අන්තර් ජාලයට පින්සිද්ධවෙන්න තමා.
2009 වර්ෂයේ තිරගත්වූ "ජූලි ඇන්ඩ් ජූලියා" ඉවීම කරමින් ලිවීම කරන බ්ලොග් කාරිණියක්ගේ කතාවක්. ඒ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්න්නෙ ජූලි පොවෙල්ගේ Julie & Julia: 365 Days, 524 Recipes, 1 Tiny Apartment Kitchen පොත හා ජූලියා චයිල්ඩ්ගේ My Life in France කියන පොත.
ජූලියා චයිල්ඩ්ට කලක් ප්‍රංශයේ ජීවත වන්න සිද්දවෙනවා,ඈ එහෙදී ප්‍රංශ අහාර පිලියෙල කරන හැටි ඉගන ගන්නවා.ප්‍රංශ කෑම වට්ටෝරු පොත් බොහොමයක් ලියවී තියෙන්නේ ප්‍රංශ භාෂාවෙන් ඉතින් ඇමරිකානු කාන්තාවන් සඳහා ජූලියා චයිල්ඩ් 1961දී Mastering the Art of French Cooking නමින් පොතක් ලියා පලකර තිබෙනවා. මේ පොත ඇමරිකාවේ බොහොම ජනප්‍රිය වුනා . මේ පොත නිසා ජූලියාත් ප්‍රසිද්ධ කාන්තාවක් උනා.ඈ ජීවත් වූ ගෙදර අද කෞතුකාගාරයක්. ඉන් කලකට පසු ජූලි පොවෙල් තමාගේ ‍රැකියාවේ ආතතියෙන් මිදෙන්න මේ පොත උදව්කරගන්නවා. ඈ මේ පොතේ තිබෙන කෑම වට්ටොරු 524 දින 365 කින් අත්හදා බලන්න තීරණය කරනවා. ඉතින් ඈ ඒ අහාර අත්හදා බැලීම ගැන කියන්න බ්ලොග් සටහනක් ලිවීමට පටන්ගන්නවා. ඒ වගේම ඇගේ බ්ලොගයට බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ බ්ලොග් සටහන් තමා Julie & Julia: 365 Days, 524 Recipes, 1 Tiny Apartment Kitchen නමින් පොතක් ලෙස පලකර තිබෙන්නේ. මේ සත්‍ය කතාව පදනම් කරගෙන නිපදවූ චිත්‍ර පටය තමා ජූලි ඇන්ඩ් ජූලියා. බොහොම රසවත් චිත්‍රපටයක් නරඹලා නැත්නම් ඉඩක් ලදවිට බලන්න. අපි වගේම බ්ලොග් ලියූ අද වනවිට ප්‍රසිද්ධ ලේඛිකාවක් බවට පත්වීසිටින ජූලි පොවෙල් ගැන අපටත් සතු‍ටුවිය හැකියි.

Thursday, October 6, 2011

හැලොවීන්!!!!!!



ඔක්තෝබර් 30 වෙනිදාට ලෝකයේ බොහෝමයක් රටවලට උත්සවාකාර දිනයක්. ඒ උත්සව පැවැත්වෙන්නේ ලංකාවෙ අපිට නුපුරුදු "හැලොවීන් " වෙනුවෙනුයි.
උත්සවය ඇමරිකාව ,කැනඩාව , බ්‍රිතාන්‍යය ,අයර්ලන්තය ඇතුළු බොහොමයක් රටවල මේ උත්සවය පැවැත්වෙනවා. සමහර රටවල මේ උත්සවය හඳුන්වන්නේ වෙනත් නම් වලින්. ඒ වගේම මේ උත්සවය සමරන විදියත් රටින් රටට වෙනස්. මේ උත්සවය ඇතිවෙලා තියෙන්නෙ මළවුන් පිදීම ,නපුරු ආත්මයන් පලවාහරින්න වගේ මිත්‍යා විශ්වාස පදනම් කරගන. අද වෙනකොට අනිත් කොයි දේත් වගේ හැලොවීනුත් වානිජකරණයවෙලා.දැන් එක එක ඇඳුම් අදින එකයි රස කැවිලි පොඩි දරුවන්ට බෙදන එකයි තමා ඒ දවසට සිද්ධ වෙන්නෙ.


ඇමරිකානුවන් හැලොවීන් උත්සවය බොහොම සාරෙට සමරන පිරිසක්. හැලොවීන් දවසෙ රෑට පුංචි ළමයි  විවිධ වේශයන්ගේ ඇඳුම් පැළඳුම් ඇඳගෙන කණ්ඩායම් විධියට ගෙයින් ගෙට යනවා, එහෙම ගිහින් දොරට තට්‍ටුකරල "ට්‍රික් ඔර් ට්‍රීට්" කියනව. එතකොට ගෙවල් වල ඉන්න අය මේ පුංචි අයට ටොෆී, චොකලට් වගේ පැණි රස කෑම ඒගොල්ලන්ට් දෙනව.ගොඩක් පොඩි ළමයි මේ කැවිලි එකතුකරගන්න මල්ලකුත් අරගන යනවා.ගොඩක් වෙලාවට ඒක වට්ටක්කා හැඩයේ බාල්දියක්. මේ කාලෙට ඕනම සුපර් මාකට් එකකින් ඔය කියන බාල්දි ගන්න පුළුවන්.මායා කාරියන් වැම්පයර්ල වගේ භීතිය ගෙනෙනෙ ඇඳුම් වලින් තමා ගොඩදෙනෙක්  සැරසෙන්නේ මේ උත්සවයේ තව අංගයක් තමා වට්ටක්කා ගෙඩි අරගන ඇවිත් ඒවයේ මැද හාරලා අයින් කරල  ,පැත්තක ඇස් හා කටක් ලෙසට වට්ටක්කා ගෙඩියේ කැටයම් කපල මැද ඉටි පන්දමකුත් පත්තුකරල දොරලඟ තියන එක.මේ වට්ටක්කා අපි කෑමට ගන්න ඒව වගේ නෙමෙයි බොහොම ලොකු වට්ටක්කා ගෙඩි. හැලොවින් රාත්‍රියේදී සියළුම අශුද්ධ ආත්මයන් පොළවට පැමිණෙන බවට අතීතයේ විශ්වාස කළා මේ වට්ටක්කා පහන හෙවත් ජැක්-ඕ-ලැන්ටන් දොරකඩ තියන්නෙ අශුද්ධ ආත්ම පලවා හරින්නයි' ඒ හා බැඳුනු ජන කතාත් බොහොමයි. මේ වට්ටක්කා පහනට අමතරව ගෙවල් එක එක බයහිතෙන දේවල් වලින් සරසන එකත් මෙයාල කරනව.








අතීතයේ කොහොම උනත් අද වෙනකොටනම් මේකත් වැලන්ටයින් වලට දෙවනි නෑ. කඩ සාප්පු පුරවලා හැලොවින් තොරොම්බල්, හැමතැනම එක එක බය හිතෙන රූප . ගෙවල් ඉස්සරහ බය හිතෙන විදියෙ පඹයො එල්ලලා. ජාති ජාති ඇඳුම් විකුණන්න තියනව. ළමයින්ට වගේම ලොකු ඈයන්ටත්  මේ ඇඳුම් අඳින්න තහනමක් නෑ. වැලන්ටයින් පාටි වගේ හැලොවීන් පාටිත් තියනව, ඇඳගනනම් යන්න ඕන ඔය පාටි වලට ඉතින් ඔය එක එක චරිත නිරූපණය කරන ඇඳුම් තමා.  ඔක්කොම එක එක ඇඳුම් ඇඳගන ඉන්නකොට හරියට පෙර පාසල් විකට ඇඳුම් තරඟයක් වගේ....


රට රටවලට විශේෂ වූ සම්ප්‍රදායන් හා සංස්කෘතීන් පවතිනව. ඒ වගේම ඒවාට අයත් එක් එක් වත් පිලිවෙලවල් හා ක්‍රියාකාරකම් පවතිනව. හැලොවීන් උත්සවයත් එවැනි එක් ක්‍රියාකාරකමක්. තමාගේ ප්‍රියතම චරිතයක ඇදුමකින් හැඬ වෙන්න ලැබෙන නිසාත් ඕන තරම් රස කැවිලි කෑමට ලැබෙන නිසාත් පුංචි ළමයි මේ උත්සවයල ප්‍රියයි. ඒකාකාරී දිවි පෙවෙතින් මඳ විරාමයක් ලැබෙන නිසාත්  අසල් වැසි නෑ හිත මිතුරන් හා විනෝදවීමට ඉඩක් ලැබෙන නිසාත් ලොකු ඇත්තො හැලොවීන් වලට ප්‍රියයි. වෙනස් පරිසරයක අළුත් අත්දැකීම් වලට කැමති නිසා මාත් හැලොවීන් වලට ප්‍රියයි...
ඔබ සැමට සුභ හැලොවීන් එකක් වේවා !!!!!