Monday, July 15, 2013

කොස් !!!!!

              
මගේ ප්‍රියතම ආහාරයක් තමා කොස්....මොන ක්‍රමයට ඉව්වත් මනාපයි. එයින් කොස් තරුණ කාලෙ (young jackfruit)  පොලොස් කන්න බොහෝම මනාපයි. දැන් ඉතින් ඔය කට පුරා පොලොස් කිව්වට ගෙදරදි අපි කිව්වෙ පැහි කියල.. ඉස්කෝලෙදි යාළුවො හිනා උනා මගේ මේ පැහි කතාවට.. ඔය ඉතින් ඔහොම හිනා උන පළමු වතාවම නෙමේ.මම ඔය පුන්චි, පියාඹන කෘමී සත්තුන්ට කියන්නෙ "පූච්චො" කියල.. ගෙදර අයත් කියන වචනයක් ඕක. ඒත් ඉතින් මගේ යාළුවො ඕක අල්ලගන මාව කන්න හැදුව ඒකාලෙ.

                මම පාසල් ගියේ විනාඩි දහයක පහලවක දුරක තියන පාසලකට ඒක ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක් නිසා හැම පැත්තෙන්ම ළමයි ආව .අපි හැමෝම අතර සුළු සුළු භාෂා වෙනස්කම් තිබුනට මහ ලොකුවට වෙනසක් දැනුනෙ නෑ. ඒකටත් එක්ක මම උසස් අධ්‍යාපනයට කොළඹට ආවම....අප්පේ...මාර වෙනස් සමහර වචන. මෙහෙත් ඉන්න සිංහල උදවිය වෙනස් පැතිවලින් ආපු අය. අපි ඉතින් සමහර වෙලේට ඔය වචන වෙනස ගැන කතාවෙනව.
          පිච්චුනාම එන දිය පට්ට වලට අපි කියන්නෙ පොක්කලම් කියල, ඒ වගේම කාඩ්බෝඩ්වලට අපි පට්ට කියනව,තව හිරිකඩ අපිට තුවානියන්..
           ඔය මගේ කටින් පිටවුන අමුතුම වචන විදියට එයාලට දැනුන ඒව. ආ.... ඉස්සර කැම්පස් එකේ ළමයි හිනාවෙනව" බස් හිටවනව" කියනවටත්. උන් අහනව උබල වලක් හාරලද හිටවන්නෙ කියල.

පිට පලාතකින් අපේ පැත්තට ඇවිත් පදිංචි උන ගුරුතුමියක් දවසක් අපිට මේ කතාව කිව්වෙ. මිස් බෞද්ධ ,අපේ ගම් පලාත්වල වැඩි ක‍තෝලිකයො.  දවසක් මිස් එයාගෙ හොඳම යාළුවෙකුගේ මරණෙකට සහභාගිවෙන්න යනගමන්ලු ඒයාගෙ ගමේ නෑදෑ අයියකෙනෙක් මගදි මුනගැහිල ඒ කෙනා අහල "නංගි මේ කොහේ යන ගමන්ද" කියල. මිස් කියල අනේ මම මේ මගේ යාළුවෙකුගෙ ඉලව් ගේක යනව අයියෙ කියල. ඉතින් අර මිස්ගෙ අයිය ඇහුවලු " ඈ නංගියේ ඒක මේ ආගමේ උත්සවයක්ද?" කියල...අපේ පැත්තෙ මළ ගෙවල් වලට කියන්නෙ ඉලව් ගෙවල් කියලනෙ.

කොස්.... කොස්... කොස් ගැන කතා කරන්න ඇවිත් අන්තිමට නැවතුනේ මළ ගෙවල් වලින්. ඒකෙත් ඉතින් එක අතකට ගැලපීමක් තියනව. මොකද මළ බතට දෙන්නෙත් කොස් තම්බල වට්ටක්කයි කරවල හොඳියි නෙ. මැයි, ජුනි කියන්නෙ ලංකාවෙ කොස් වාරෙ... ලංකාවෙ හිටියනම් ඉද හිටවත් කන්න තිබුන, එක එක ක්‍රමයට කොස්.
කොස් කන්න ක්‍රමනම් කීයක්ද. හොඳ හැටි බඩ පුරවගන්නත් ලැබෙනව. නිකමට යැ බත් ගහ කියන්නෙ. අපිට නම් තනිකර කොස් තම්බල බත් වෙනුවට කන්න තරම් කොස් ලැබෙන්නෙ නෑ. ගෙදර ගහක් දෙකක් තිබුන ඒත් කඩාගන්න කෙනෙක් නෑනෙ. ඉතින් කොස් ලැබෙන්නෙ ව්‍යාංජනයක් විදියට තමා. වරක නම් ගෙඩි වැටෙනව. ඒත්  මදුළු දහයයි වැඩිම. ගොඩක් කෑවම මැරෙනව කියල බයකරනව පොඩිකාලෙ. ඔහොම වරක වැඩියෙ කන්න නොදීපු දවසක මම "අකාල මරණයි කාල මරණයි දෙකක් තියනව... කාල මැරෙන එක හොන්දයිනෙ" කියල හොඳටෝම බැනුම් ඇහුව

                .කොස් වලට කියන තවත් නමක් තමා හෙරලි. ඔය නම හැදුන හැටි ගැන පුංචි කාලෙ මම කතාවක් අහල තියනව. හරියටම මතක නැතත් කතාව මෙන්න මෙහෙමයි..
            බොහොම ඈත කාලෙ කොස් කෑමට ගන්නෙ නෑලු. ඔහේ හැදිල වැටිල කුණු වෙලා යනවලු. ඒත් ඉතින් හැම තැනම හැදෙනවලු සරු සාරෙට. එක ගමක හිටියලු ගම ජෝඩුවක් බොහෝම දුප්පත් .. සමහර දවසකට ඉතින් කන්න ගේ හැරියෙ හාල් ඇටයක් නෑලු. ඔන්න ඔය වගේ දවසක ගම හාමිනේ දෝත් මුදුන් තියල දෙයියන්ට කන්නලව් කලාලු   "ඇයි දෙයියනේ අපේ දුක ඔබ තුමාන්ලාටවත් පේන්නෙ නැද්දෝ " කියල. ඔය කන්නලව්වට සක්‍ර දේවේන්ද්‍රයගේ පඬුපුල් ආසනේ රත් උනාලු (දැන් ඒ ආසනේ සක්‍ර දෙයියන්ගේ බිසව උයන්න හොට් ප්ලේට් එකට අරගන නිසා සක්‍ර දෙවියන්ට බුරුත ලීයෙන් හදපු කුෂන් පු‍ටුවක් ගෙනත් දීල ලු ).
 ඉතින් සක්‍ර දෙයියොත් මනු ලොවට වැඩල හිඟන්නෙක්ගෙ වෙස් අරගන ගියාලු මේ ගම ගෙට. යන කොටම පේනවලු කොස් ගස් හැදිල තියන හැටි අපූරුවට. සක්‍ර දේවයත් හිතින් හිතනවලු මේ මනුස්ස ලෝකෙ මිනිස්සු මේ ගස් තියාගන බඩ ගින්නෙ දුක් විදින්නෙ මොන මෝඩකමකටද කියල.
 හිඟන වෙස් ගත්ත සක්‍ර දෙයියො අර ගෙදරට ඇවිත් අනේ හාමිනේ මම මේ බොහොම දුරක හිට එන්නෙ කන්න මුකුත් දුන්නොත් පින් අත්වෙයි කියල කිව්වලු. ගම හාමිනේ ඉතින් අපිටත් කන්න නැති වෙලේ මේ මනුස්සයත් පාත් උනා මෙතෙන්ට කියල හිතමින් කිව්වලු 'අපටත් අද කන්න දෙයක් නෑ රාළේ ' කියල. සක්‍රයත් ඉතින් ඇවිදගෙන ගිහින් කොස් ගෙඩියක් කඩාගෙන ඇවිත් කිව්වලු 'අනේ හාමිනේ මෙන්න මේක කපල මදේ තම්බල දුන්නනම්' කියල. 'අනේ අප්පේ මේව කන්නෙ නෑනෙ' කියල ගම හාමිනේ කිව්වත් මනුස්සයගෙ කරදරේට ඔන්න කී හැටියට කලා කියමුකො. ඔන්න ටික වෙලාවකින් එනවලු හොඳ සුවදක්....ගම හාමිනේටත් දැන් ඉවසුමක් නෑලු මේකෙන් ටිකක් රස බලන්න. ඒත් ඉතින් සක්‍රයා ත තැවම කිව්වෙ නෑලු තම්බල ඇති කියල.ඉතින් ගම හාමිනේ හොරෙන්ම බාගෙට තැම්බුනු කොස් මඳුළු වල රස බැලුවලු. ඕක දැක්කක සක්‍රයා මේ ගස "හෙර ලිය" කියල නම්කලාලු... කටින් කට යනකොට ඒක නිකන්ම හෙරලි උනා කියල තමා මම දන්න කතන්දරේ.

          දැන් මෙහෙම කොස් නෑ කියල නහයෙන් ඇඬුවට අපිත් ඉද හිට කනව ටින් කරපු පොලොස් සහ ශීත කල කොස්.. කොච්චර උත්සහ කලත් ගෙදර උයන රස එන්නෙ නැත්තෙ මගේ අවුලක් ද කොස් වල අවුලක් ද මන්ද. මෙහේ තියන ආසියානු වෙළඳසැල් වල ඔය පොලොස් ටින් ගන්න පුලුවන්. මම ඉතින් ලැබෙන වෙලාවට දහයක් විතර ගෙනත් තියාගන්නව. ඹබර කුමාරය කියන්නෙනම් මම පොළොස් මැල්ලුම වගේ එකක් හදනව කියලයි. අනේ උන්දල දන්න ඉවිලි.
 පොලොස්  කියන්නෙ බඹර කුමාරයගෙත් ටොප් ටෙන් චාර්ට් එකේ කෑමක්. විවාහ වෙන්න කලින් ඔය පොලොස් කතාවක් ඇදිල ආවම මෙන්න මෙයා කියනව එයාලගෙ ආච්චිලාගෙ ගෙදර තියනවලු පොළොස් ගහක්! මම ඉතින් දැන් දස අතේ කියනව එහෙම පොලොස් ගස් නෑ කොස් ගස්ම තමා තියෙන්නෙ පොලොස් කියන්නෙ කොස් වල ලපටි කාලෙ කියල.කෝ.. මෙයා දැන් පිලිගන්නෙම නෑ. ගහ තියන තැනත් කියනව...මාත් ඉතින් බැරි තැන අත ඇරිය.
 කලකට පස්සෙ මම විවාහ උනාම මට ඕන උනා ඔය කියන අරුම පුදුම "පොලොස් ගහ"  බලන්න. ඔන්න ඉතින් ආච්චිලාගෙ ගෙදරත් ගියා කියමුකො. කියපු තැන කියපු විදියටම ගහක් තියනව..........හැබැයි "දෙල් ගහක්"!