Monday, June 24, 2013

මඟුල් විත්ති

              විවාහ උන කෙනෙක්ගෙ ගෙදරක සාලයේ අනිවාර්යයෙන් දකින්න ලැබෙන දෙයක් තමා මඟුල් පින්තූරය. අම්මලාගෙ මහගෙදර ඒ වෙනුවෙන්ම තැනකුත් තියනව,මගේ විවාහයත් එක්ක පරම්පරා තුනක මගුල් ජායාරූප එකතුවක් එතන තියනව. 
      ඒත් අදටත් එතන තියන ලස්සනම මංගල ජායාරූපයට හිමිකම් කියන්නෙ ලොකු අම්මයි ලොකු තාත්තයි (අම්මාගේ අම්මටයි තාත්තටයි අපි කියන්නෙ එහෙමනෙ).....    
මේකප් නැති, දන්න අදුනන හැඩ ගන්නන කෙනෙක්ට කියල දාගත්ත සරල කොන්ඩ සැරසිල්ලක් එක්ක මල් පොකුරක් අතින් ගත්ත ලොකු අම්ම,මේකප් තට්‍ටු ගනනින් ප්‍රසිද්ධ රූපලාවන්‍යය ශිල්පීන්ගේ  අතින් සිතුවම් උන, දුවලයි මිනිපිරියන්ටයි වඩා කොයිතරම් හැඩද.
             ලොකු අම්මගෙ සහෝදර සහෝදරියොනම් කියන්නෙ දවස් හතක් මඟුල් කෑව එයාගෙ විවාහය වෙනුවෙන් කියල. ගමේම ලවුඩ්ස්පීකර්ස් දාල ගමටම කියල ගත්ත මඟුලක් ලු. දැන් කාලෙ ඔහොම එකක් ගත්තොත් ඉතින් ජීවිත කාලෙටම ණය ගෙව ගෙව පොලුයි බතුයි කකා තමා ඉන්න වෙන්නෙ.
       

             පොලුයි බතුයි කියද්දි මතක් උනේ අදාල නැතත් ඔන්න ඔහෙ ලියල දානව. ඒ කාලෙ ඔය කැම්පස් එකේ යාළුවන්ගෙ ගෙවල්වල ගියාම ඉතින් ඔය හදන කෑමක් බීමක් එහෙම අපි එපා කියන්නෙ නෑනෙ,  යන්නෙත් දෙන්න තුන්දෙනා නෙමෙනෙ දහ පාලොස් දෙනානෙ. එහෙම ගිහින් ඒ අහිංසක දෙමාපියන් සංග්‍රහ කරන කෑම ටික කුඩක් වත් නොතිය ගිලදාන්නෙ ඒ මනුස්සයො තරහවෙයි කියන බයටනෙ,නැද්ද.... ටික දවසකට පස්සෙ ඉතින් අර කාල බීල ආපු ගෙදර ළමය එක්ක යන දෙබස මෙන්න මේවගේ.
 " මේ දවස් වල අපි කන්නෙ රොටියක් පුච්චන් බන්"
 " හෑ ! ඒ මොකෝ බන් ඒ.." 
" නෑ උඹල ඔක්කොමල ඇවිත් ගියානෙ ..ආයෙ ඉතින් ලබන මාසෙ තාත්තට පඩි හම්බුනාම තමා හාල් එළවළු ගන්න වෙන්නෙ"...
            
           පුංචිකාලෙ මාව හරියට ඔය  මල් කුමාරියන්ට ගන්නව,තට්‍ටු ගවුම් මල් පොකුරු එක්ක ටිකක් VIP සැලකිලි ලැබෙන නිසා මාත් ඉතින් වැඩි වදයක් නොදී ඔය මල් කුමාරි රාජකාරිය කළා.මට මතක ඇති කාලෙ ඉදන්ම ඔය විවාහ උත්සව තරමක් වානිජකරණය වෙමින් තිබුනෙ, දැන් තරමටම නැතත් ටිකක් අතපය දිග ඇරල වියදම් කරන විවාහ සම්ප්‍රදායක් තමා මම හැමදාම දු‍ටුවෙ. 
        අපේ මාමා විවාහ වෙද්දි මම අවුරුදු දෙකක විතර පොඩි දැරිවියක් නිසා මට මතකයක් නෑ ඒ ගැන. ලොකු අම්මනම් කියනව ඒ දෙවනි ගමන උත්සවේ බොහොම ජයට තිබුනලු.කෝකියො ගෙන්නල ගෙදර උයල , වත්ත සරසල ටෙන්ට් ගහලලු ඒ උත්සවේ ගත්තෙ. ඒ වැඩේ කොතරම් හිතට ඇල්ලුවද කිව්වොත් ඉන්පස්සෙ අපෙ ගෙදර කාගෙවත්ම මඟුලක් ගෙදර ගත්තෙ නෑ.
      ක‍තෝලික අපි විවාහ වෙන්නෙ පල්ලියෙනෙ ඉතින් විවාහය වෙනුවෙන් කෑම බීම දෙන්න ක්‍රම දෙකක් තියනව. පළමු ක්‍රමේ තමා විවාහ ගිවිස ගැනීමේ උත්සවයක් පවත්වල කන්න බොන්න දීම. මේ විවාහ ගිවිස ගැනීම කියන්නෙ "රෙජිස්ටර්" කරනවට නෙමේ. මේකෙදි කරන්නෙ පල්ලියට ගිහින් ආශිර්වාද අරන් මුදු මාරු කිරීමක්. ගොඩක් වෙලේටෙ මුද්දක් ලැබෙන්නෙ මනාලියට විතරයි. ඒ මුදු මාරුවෙන් පස්සෙ ගෙදර හෝ උත්සව ශාලාවක උත්සවේගන්නව. මේ ක්‍රමය තමයි ඉස්සර ගොඩක් ප්‍රසිද්ධ. පසු කාලීනව මුදු මාරුව නැවතිලා පල්ලියෙ කටයුතු ඉවර උනාම උත්සව ශාලාවකට ගිහින් සතුට සමරන්න කට්ටිය පටන් ගත්ත. මේ උත්සව වලදි වියදම දරන්නෙ මනාලියගෙ පාර්ශවය මනාලයගෙ පාර්ශවයට අවස්ථාව එන්නෙ දෙවනි ගනෙදිනෙ.

ක‍තෝලික විවාහ උත්සව වල ඔය පල්ලියේ චාරිත්‍ර ඇරුනම වෙන පිලි පැදිය යුතු චාරිත්‍ර වාරිත්‍ර එහෙම බොහොම අඩුයි.පල්ලියේදී මනාලියකට මනාලියක් මුන නොගසෙන්න කට්ටිය වග බලාගන්නව.ඒ වගේම මනාලියගේ මල් පොකුර පල්ලියක සුරුවමක් පාමුල තියනව එදා දවස අවසානයේ. අපි දවස් දෙකක්
විවාහ උන නිසා මල් පොකුරු දෙක සුරුවම් පාමුල තියන්න උනේ දෙවනි ගමනෙනුත් පස්සෙ. ඒ වෙනකොට මල් හොඳටම මැලවිලා
        
             මංගල්ලෙ කොහොම ගත්තත් අතිමට ඉතුරුවෙන්නෙ ගන්න පින්තූර ටික විතරනේ කියල ඔය හැමෝම සැල කියයුතු ගානක් වියදම් කරල ඇල්බම් එකකුත් හදනවනෙ. ලංකාවෙ දැන් ඔය පින්තූර ගැනිල්ල විලාසිතාවක්වෙලානෙ. මම හිතන්නෙ ඔය තරමට මඟුල් පින්තූර ගැන හිතන එකම රට අපි කියල. 
අපේ විවාහයෙන් දින කීපෙකින් මෙහේට කඩන් පාත් උන නිසා ජායාරූප ඇල්බමය ලැබුනම  අපි අඩි හප්පල, ඒක අපිට එවන්න කියල ඉල්ලල හිටිය.... අප්පේ කිලෝ හය හතක් බර ඇල්බම් දෙකක් යාළුවෙක් බෑ නොකිය අරගනත් ආව. 
      
ඕක බලන මෙහේ අය හරියට පුදුම වෙනව. එක මිතුරියක් එයාගෙ ජායාරූප ගැන ඉගනගන්න ඥාතියෙක්ට පෙන්නන්න ඇල්බම් එක ඉල්ලුවත් එක්ක. "කතන්දර පොත්" ක්‍රමයට කරපු මගේ ඇල්බම් එකනම් දැන් මේ වෙද්දි ලංකාවෙනම් " අවුට් ඔෆ් පැෂන් " මගෙ හිතේ. මගේ නේපාල් මිතුරුයන් කිව්වෙ එයාලගෙ විවාහ ජායාරූප ගන්න ලංකාවට එනව කියලයි.  ලංකාව ඇමරිකාවටත් වඩා ඉස්සරහින්නෙ කියල හිතෙන්නෙ මේව ඇහෙනකොට...

                        විවාහ වෙන්නෙ එක පාරනෙ කියල පුළුවන් තරමට හොඳට මඟුල් ගත්තට ඒ මුදල් බැංකුවක දාගත්තනම් වගේ සිතුවිලිත් එන වෙලාවල් නැත්තෙ නෑ. ලඟදි විවාහවුන
ඹර කුමාරයගෙ ඥාති සොහොයුරෙක්නම් අම්මලාට කිව්වෙ විවාහය වෙනුවෙන් වියදම් කරන සල්ලි ගෙයක් හදාගන්න දෙන්න කියලලු. හිතල බලද්දි ඒ කතාවෙත් ඇත්තක් තියනව.
අපි ඉතින් ඔය මොන කතා කිව්වත් දෙමාපියො කැමති තමන්ට පුලුවන් ඉහලින් මඟුලක් අරන් දරුවො දීග දෙන්නනෙ. දරුවෙක් හඳ පානෙ ,හොර රහසේ දීග ගියාම අම්මලා තාත්තල සතු‍ටු වෙන්නෙ නෑනෙ මඟුලට වියදම් වෙන සල්ලි ඉතුරුයි කියල.

           හඳ පානෙ ගියත් ඉතින් කොහොම හරි මඟුල් පින්තූරයක් ගන්නෙ කවද හරි දවසක දරුවන්ට පෙන්නන්න කියලනෙ. දැන්කාලෙනම් ඔය දෙමාපියන්ට හොරෙන් වෙන විවාහත් පැවැත් වෙන්නෙ රටටම මඟුල් කියලනෙ. මම දන්න කියන ගෑණු ළමයෙක් හිටිය, දෙමාපියො ගුරුවරු. ප්‍රේම සම්බන්දයක් ඇතිකරගත්ත හරි හමන් රස්සාවක් නොතිබ්බ කොල්ලෙක් එක්ක, දෙමාපියො තදින්ම විරුද්ද උනා. ගැණු ළමය හිතුවක්කාරෙට දීග ගියා..  හිතුවක්කාරෙට කිව්වට ඉතින් මඟුල් කාඩ් යවල මඟුල් සාරි ඇදල උත්සවයකුත් අරන් තමා බැන්දෙ.

 ඉපදීමත් මරණයත් අපිට ඕනෙ හැටියකට කරන්න නොලැබෙන එකේ ,ජීවිතේ අනික් ලොකුම සංදිස්ථානය වෙච්චි විවාහය තම තමන්ට ඕනෙ හැටියකට කරගන්නනෙ අපි කවුරුත් බලන්නෙ. කොහොම මඟුල් ගත්තත් ඉතින් අන්තිමටනම් වැදගත්වෙන්නෙ ඊට පස්සෙ ගෙවන ජීවිතය කියන එකත් අමතක කරන්න නරකයි.

Sunday, June 9, 2013

දෙවසරක් ගෙවිලා!

දන්නෙම නැතුව රෝස කැළේට අවුරුදු දෙකකුත් ගෙවිල... මහා ලොකු ලියවිල්ලක් මේ අවුරුදු දෙක පුරා ලියවුනේ නැතත්, මාත් එක්ක රෝස කැළේ මල් නෙලපු හැමෝටම ගොඩාක් ස්තූතියි...

මෙන්න ඉතින් ඔයාලට අරන් යන්න ඕන තරම් රෝස මල් ..............