Monday, July 15, 2013

කොස් !!!!!

              
මගේ ප්‍රියතම ආහාරයක් තමා කොස්....මොන ක්‍රමයට ඉව්වත් මනාපයි. එයින් කොස් තරුණ කාලෙ (young jackfruit)  පොලොස් කන්න බොහෝම මනාපයි. දැන් ඉතින් ඔය කට පුරා පොලොස් කිව්වට ගෙදරදි අපි කිව්වෙ පැහි කියල.. ඉස්කෝලෙදි යාළුවො හිනා උනා මගේ මේ පැහි කතාවට.. ඔය ඉතින් ඔහොම හිනා උන පළමු වතාවම නෙමේ.මම ඔය පුන්චි, පියාඹන කෘමී සත්තුන්ට කියන්නෙ "පූච්චො" කියල.. ගෙදර අයත් කියන වචනයක් ඕක. ඒත් ඉතින් මගේ යාළුවො ඕක අල්ලගන මාව කන්න හැදුව ඒකාලෙ.

                මම පාසල් ගියේ විනාඩි දහයක පහලවක දුරක තියන පාසලකට ඒක ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක් නිසා හැම පැත්තෙන්ම ළමයි ආව .අපි හැමෝම අතර සුළු සුළු භාෂා වෙනස්කම් තිබුනට මහ ලොකුවට වෙනසක් දැනුනෙ නෑ. ඒකටත් එක්ක මම උසස් අධ්‍යාපනයට කොළඹට ආවම....අප්පේ...මාර වෙනස් සමහර වචන. මෙහෙත් ඉන්න සිංහල උදවිය වෙනස් පැතිවලින් ආපු අය. අපි ඉතින් සමහර වෙලේට ඔය වචන වෙනස ගැන කතාවෙනව.
          පිච්චුනාම එන දිය පට්ට වලට අපි කියන්නෙ පොක්කලම් කියල, ඒ වගේම කාඩ්බෝඩ්වලට අපි පට්ට කියනව,තව හිරිකඩ අපිට තුවානියන්..
           ඔය මගේ කටින් පිටවුන අමුතුම වචන විදියට එයාලට දැනුන ඒව. ආ.... ඉස්සර කැම්පස් එකේ ළමයි හිනාවෙනව" බස් හිටවනව" කියනවටත්. උන් අහනව උබල වලක් හාරලද හිටවන්නෙ කියල.

පිට පලාතකින් අපේ පැත්තට ඇවිත් පදිංචි උන ගුරුතුමියක් දවසක් අපිට මේ කතාව කිව්වෙ. මිස් බෞද්ධ ,අපේ ගම් පලාත්වල වැඩි ක‍තෝලිකයො.  දවසක් මිස් එයාගෙ හොඳම යාළුවෙකුගේ මරණෙකට සහභාගිවෙන්න යනගමන්ලු ඒයාගෙ ගමේ නෑදෑ අයියකෙනෙක් මගදි මුනගැහිල ඒ කෙනා අහල "නංගි මේ කොහේ යන ගමන්ද" කියල. මිස් කියල අනේ මම මේ මගේ යාළුවෙකුගෙ ඉලව් ගේක යනව අයියෙ කියල. ඉතින් අර මිස්ගෙ අයිය ඇහුවලු " ඈ නංගියේ ඒක මේ ආගමේ උත්සවයක්ද?" කියල...අපේ පැත්තෙ මළ ගෙවල් වලට කියන්නෙ ඉලව් ගෙවල් කියලනෙ.

කොස්.... කොස්... කොස් ගැන කතා කරන්න ඇවිත් අන්තිමට නැවතුනේ මළ ගෙවල් වලින්. ඒකෙත් ඉතින් එක අතකට ගැලපීමක් තියනව. මොකද මළ බතට දෙන්නෙත් කොස් තම්බල වට්ටක්කයි කරවල හොඳියි නෙ. මැයි, ජුනි කියන්නෙ ලංකාවෙ කොස් වාරෙ... ලංකාවෙ හිටියනම් ඉද හිටවත් කන්න තිබුන, එක එක ක්‍රමයට කොස්.
කොස් කන්න ක්‍රමනම් කීයක්ද. හොඳ හැටි බඩ පුරවගන්නත් ලැබෙනව. නිකමට යැ බත් ගහ කියන්නෙ. අපිට නම් තනිකර කොස් තම්බල බත් වෙනුවට කන්න තරම් කොස් ලැබෙන්නෙ නෑ. ගෙදර ගහක් දෙකක් තිබුන ඒත් කඩාගන්න කෙනෙක් නෑනෙ. ඉතින් කොස් ලැබෙන්නෙ ව්‍යාංජනයක් විදියට තමා. වරක නම් ගෙඩි වැටෙනව. ඒත්  මදුළු දහයයි වැඩිම. ගොඩක් කෑවම මැරෙනව කියල බයකරනව පොඩිකාලෙ. ඔහොම වරක වැඩියෙ කන්න නොදීපු දවසක මම "අකාල මරණයි කාල මරණයි දෙකක් තියනව... කාල මැරෙන එක හොන්දයිනෙ" කියල හොඳටෝම බැනුම් ඇහුව

                .කොස් වලට කියන තවත් නමක් තමා හෙරලි. ඔය නම හැදුන හැටි ගැන පුංචි කාලෙ මම කතාවක් අහල තියනව. හරියටම මතක නැතත් කතාව මෙන්න මෙහෙමයි..
            බොහොම ඈත කාලෙ කොස් කෑමට ගන්නෙ නෑලු. ඔහේ හැදිල වැටිල කුණු වෙලා යනවලු. ඒත් ඉතින් හැම තැනම හැදෙනවලු සරු සාරෙට. එක ගමක හිටියලු ගම ජෝඩුවක් බොහෝම දුප්පත් .. සමහර දවසකට ඉතින් කන්න ගේ හැරියෙ හාල් ඇටයක් නෑලු. ඔන්න ඔය වගේ දවසක ගම හාමිනේ දෝත් මුදුන් තියල දෙයියන්ට කන්නලව් කලාලු   "ඇයි දෙයියනේ අපේ දුක ඔබ තුමාන්ලාටවත් පේන්නෙ නැද්දෝ " කියල. ඔය කන්නලව්වට සක්‍ර දේවේන්ද්‍රයගේ පඬුපුල් ආසනේ රත් උනාලු (දැන් ඒ ආසනේ සක්‍ර දෙයියන්ගේ බිසව උයන්න හොට් ප්ලේට් එකට අරගන නිසා සක්‍ර දෙවියන්ට බුරුත ලීයෙන් හදපු කුෂන් පු‍ටුවක් ගෙනත් දීල ලු ).
 ඉතින් සක්‍ර දෙයියොත් මනු ලොවට වැඩල හිඟන්නෙක්ගෙ වෙස් අරගන ගියාලු මේ ගම ගෙට. යන කොටම පේනවලු කොස් ගස් හැදිල තියන හැටි අපූරුවට. සක්‍ර දේවයත් හිතින් හිතනවලු මේ මනුස්ස ලෝකෙ මිනිස්සු මේ ගස් තියාගන බඩ ගින්නෙ දුක් විදින්නෙ මොන මෝඩකමකටද කියල.
 හිඟන වෙස් ගත්ත සක්‍ර දෙයියො අර ගෙදරට ඇවිත් අනේ හාමිනේ මම මේ බොහොම දුරක හිට එන්නෙ කන්න මුකුත් දුන්නොත් පින් අත්වෙයි කියල කිව්වලු. ගම හාමිනේ ඉතින් අපිටත් කන්න නැති වෙලේ මේ මනුස්සයත් පාත් උනා මෙතෙන්ට කියල හිතමින් කිව්වලු 'අපටත් අද කන්න දෙයක් නෑ රාළේ ' කියල. සක්‍රයත් ඉතින් ඇවිදගෙන ගිහින් කොස් ගෙඩියක් කඩාගෙන ඇවිත් කිව්වලු 'අනේ හාමිනේ මෙන්න මේක කපල මදේ තම්බල දුන්නනම්' කියල. 'අනේ අප්පේ මේව කන්නෙ නෑනෙ' කියල ගම හාමිනේ කිව්වත් මනුස්සයගෙ කරදරේට ඔන්න කී හැටියට කලා කියමුකො. ඔන්න ටික වෙලාවකින් එනවලු හොඳ සුවදක්....ගම හාමිනේටත් දැන් ඉවසුමක් නෑලු මේකෙන් ටිකක් රස බලන්න. ඒත් ඉතින් සක්‍රයා ත තැවම කිව්වෙ නෑලු තම්බල ඇති කියල.ඉතින් ගම හාමිනේ හොරෙන්ම බාගෙට තැම්බුනු කොස් මඳුළු වල රස බැලුවලු. ඕක දැක්කක සක්‍රයා මේ ගස "හෙර ලිය" කියල නම්කලාලු... කටින් කට යනකොට ඒක නිකන්ම හෙරලි උනා කියල තමා මම දන්න කතන්දරේ.

          දැන් මෙහෙම කොස් නෑ කියල නහයෙන් ඇඬුවට අපිත් ඉද හිට කනව ටින් කරපු පොලොස් සහ ශීත කල කොස්.. කොච්චර උත්සහ කලත් ගෙදර උයන රස එන්නෙ නැත්තෙ මගේ අවුලක් ද කොස් වල අවුලක් ද මන්ද. මෙහේ තියන ආසියානු වෙළඳසැල් වල ඔය පොලොස් ටින් ගන්න පුලුවන්. මම ඉතින් ලැබෙන වෙලාවට දහයක් විතර ගෙනත් තියාගන්නව. ඹබර කුමාරය කියන්නෙනම් මම පොළොස් මැල්ලුම වගේ එකක් හදනව කියලයි. අනේ උන්දල දන්න ඉවිලි.
 පොලොස්  කියන්නෙ බඹර කුමාරයගෙත් ටොප් ටෙන් චාර්ට් එකේ කෑමක්. විවාහ වෙන්න කලින් ඔය පොලොස් කතාවක් ඇදිල ආවම මෙන්න මෙයා කියනව එයාලගෙ ආච්චිලාගෙ ගෙදර තියනවලු පොළොස් ගහක්! මම ඉතින් දැන් දස අතේ කියනව එහෙම පොලොස් ගස් නෑ කොස් ගස්ම තමා තියෙන්නෙ පොලොස් කියන්නෙ කොස් වල ලපටි කාලෙ කියල.කෝ.. මෙයා දැන් පිලිගන්නෙම නෑ. ගහ තියන තැනත් කියනව...මාත් ඉතින් බැරි තැන අත ඇරිය.
 කලකට පස්සෙ මම විවාහ උනාම මට ඕන උනා ඔය කියන අරුම පුදුම "පොලොස් ගහ"  බලන්න. ඔන්න ඉතින් ආච්චිලාගෙ ගෙදරත් ගියා කියමුකො. කියපු තැන කියපු විදියටම ගහක් තියනව..........හැබැයි "දෙල් ගහක්"!

Monday, June 24, 2013

මඟුල් විත්ති

              විවාහ උන කෙනෙක්ගෙ ගෙදරක සාලයේ අනිවාර්යයෙන් දකින්න ලැබෙන දෙයක් තමා මඟුල් පින්තූරය. අම්මලාගෙ මහගෙදර ඒ වෙනුවෙන්ම තැනකුත් තියනව,මගේ විවාහයත් එක්ක පරම්පරා තුනක මගුල් ජායාරූප එකතුවක් එතන තියනව. 
      ඒත් අදටත් එතන තියන ලස්සනම මංගල ජායාරූපයට හිමිකම් කියන්නෙ ලොකු අම්මයි ලොකු තාත්තයි (අම්මාගේ අම්මටයි තාත්තටයි අපි කියන්නෙ එහෙමනෙ).....    
මේකප් නැති, දන්න අදුනන හැඩ ගන්නන කෙනෙක්ට කියල දාගත්ත සරල කොන්ඩ සැරසිල්ලක් එක්ක මල් පොකුරක් අතින් ගත්ත ලොකු අම්ම,මේකප් තට්‍ටු ගනනින් ප්‍රසිද්ධ රූපලාවන්‍යය ශිල්පීන්ගේ  අතින් සිතුවම් උන, දුවලයි මිනිපිරියන්ටයි වඩා කොයිතරම් හැඩද.
             ලොකු අම්මගෙ සහෝදර සහෝදරියොනම් කියන්නෙ දවස් හතක් මඟුල් කෑව එයාගෙ විවාහය වෙනුවෙන් කියල. ගමේම ලවුඩ්ස්පීකර්ස් දාල ගමටම කියල ගත්ත මඟුලක් ලු. දැන් කාලෙ ඔහොම එකක් ගත්තොත් ඉතින් ජීවිත කාලෙටම ණය ගෙව ගෙව පොලුයි බතුයි කකා තමා ඉන්න වෙන්නෙ.
       

             පොලුයි බතුයි කියද්දි මතක් උනේ අදාල නැතත් ඔන්න ඔහෙ ලියල දානව. ඒ කාලෙ ඔය කැම්පස් එකේ යාළුවන්ගෙ ගෙවල්වල ගියාම ඉතින් ඔය හදන කෑමක් බීමක් එහෙම අපි එපා කියන්නෙ නෑනෙ,  යන්නෙත් දෙන්න තුන්දෙනා නෙමෙනෙ දහ පාලොස් දෙනානෙ. එහෙම ගිහින් ඒ අහිංසක දෙමාපියන් සංග්‍රහ කරන කෑම ටික කුඩක් වත් නොතිය ගිලදාන්නෙ ඒ මනුස්සයො තරහවෙයි කියන බයටනෙ,නැද්ද.... ටික දවසකට පස්සෙ ඉතින් අර කාල බීල ආපු ගෙදර ළමය එක්ක යන දෙබස මෙන්න මේවගේ.
 " මේ දවස් වල අපි කන්නෙ රොටියක් පුච්චන් බන්"
 " හෑ ! ඒ මොකෝ බන් ඒ.." 
" නෑ උඹල ඔක්කොමල ඇවිත් ගියානෙ ..ආයෙ ඉතින් ලබන මාසෙ තාත්තට පඩි හම්බුනාම තමා හාල් එළවළු ගන්න වෙන්නෙ"...
            
           පුංචිකාලෙ මාව හරියට ඔය  මල් කුමාරියන්ට ගන්නව,තට්‍ටු ගවුම් මල් පොකුරු එක්ක ටිකක් VIP සැලකිලි ලැබෙන නිසා මාත් ඉතින් වැඩි වදයක් නොදී ඔය මල් කුමාරි රාජකාරිය කළා.මට මතක ඇති කාලෙ ඉදන්ම ඔය විවාහ උත්සව තරමක් වානිජකරණය වෙමින් තිබුනෙ, දැන් තරමටම නැතත් ටිකක් අතපය දිග ඇරල වියදම් කරන විවාහ සම්ප්‍රදායක් තමා මම හැමදාම දු‍ටුවෙ. 
        අපේ මාමා විවාහ වෙද්දි මම අවුරුදු දෙකක විතර පොඩි දැරිවියක් නිසා මට මතකයක් නෑ ඒ ගැන. ලොකු අම්මනම් කියනව ඒ දෙවනි ගමන උත්සවේ බොහොම ජයට තිබුනලු.කෝකියො ගෙන්නල ගෙදර උයල , වත්ත සරසල ටෙන්ට් ගහලලු ඒ උත්සවේ ගත්තෙ. ඒ වැඩේ කොතරම් හිතට ඇල්ලුවද කිව්වොත් ඉන්පස්සෙ අපෙ ගෙදර කාගෙවත්ම මඟුලක් ගෙදර ගත්තෙ නෑ.
      ක‍තෝලික අපි විවාහ වෙන්නෙ පල්ලියෙනෙ ඉතින් විවාහය වෙනුවෙන් කෑම බීම දෙන්න ක්‍රම දෙකක් තියනව. පළමු ක්‍රමේ තමා විවාහ ගිවිස ගැනීමේ උත්සවයක් පවත්වල කන්න බොන්න දීම. මේ විවාහ ගිවිස ගැනීම කියන්නෙ "රෙජිස්ටර්" කරනවට නෙමේ. මේකෙදි කරන්නෙ පල්ලියට ගිහින් ආශිර්වාද අරන් මුදු මාරු කිරීමක්. ගොඩක් වෙලේටෙ මුද්දක් ලැබෙන්නෙ මනාලියට විතරයි. ඒ මුදු මාරුවෙන් පස්සෙ ගෙදර හෝ උත්සව ශාලාවක උත්සවේගන්නව. මේ ක්‍රමය තමයි ඉස්සර ගොඩක් ප්‍රසිද්ධ. පසු කාලීනව මුදු මාරුව නැවතිලා පල්ලියෙ කටයුතු ඉවර උනාම උත්සව ශාලාවකට ගිහින් සතුට සමරන්න කට්ටිය පටන් ගත්ත. මේ උත්සව වලදි වියදම දරන්නෙ මනාලියගෙ පාර්ශවය මනාලයගෙ පාර්ශවයට අවස්ථාව එන්නෙ දෙවනි ගනෙදිනෙ.

ක‍තෝලික විවාහ උත්සව වල ඔය පල්ලියේ චාරිත්‍ර ඇරුනම වෙන පිලි පැදිය යුතු චාරිත්‍ර වාරිත්‍ර එහෙම බොහොම අඩුයි.පල්ලියේදී මනාලියකට මනාලියක් මුන නොගසෙන්න කට්ටිය වග බලාගන්නව.ඒ වගේම මනාලියගේ මල් පොකුර පල්ලියක සුරුවමක් පාමුල තියනව එදා දවස අවසානයේ. අපි දවස් දෙකක්
විවාහ උන නිසා මල් පොකුරු දෙක සුරුවම් පාමුල තියන්න උනේ දෙවනි ගමනෙනුත් පස්සෙ. ඒ වෙනකොට මල් හොඳටම මැලවිලා
        
             මංගල්ලෙ කොහොම ගත්තත් අතිමට ඉතුරුවෙන්නෙ ගන්න පින්තූර ටික විතරනේ කියල ඔය හැමෝම සැල කියයුතු ගානක් වියදම් කරල ඇල්බම් එකකුත් හදනවනෙ. ලංකාවෙ දැන් ඔය පින්තූර ගැනිල්ල විලාසිතාවක්වෙලානෙ. මම හිතන්නෙ ඔය තරමට මඟුල් පින්තූර ගැන හිතන එකම රට අපි කියල. 
අපේ විවාහයෙන් දින කීපෙකින් මෙහේට කඩන් පාත් උන නිසා ජායාරූප ඇල්බමය ලැබුනම  අපි අඩි හප්පල, ඒක අපිට එවන්න කියල ඉල්ලල හිටිය.... අප්පේ කිලෝ හය හතක් බර ඇල්බම් දෙකක් යාළුවෙක් බෑ නොකිය අරගනත් ආව. 
      
ඕක බලන මෙහේ අය හරියට පුදුම වෙනව. එක මිතුරියක් එයාගෙ ජායාරූප ගැන ඉගනගන්න ඥාතියෙක්ට පෙන්නන්න ඇල්බම් එක ඉල්ලුවත් එක්ක. "කතන්දර පොත්" ක්‍රමයට කරපු මගේ ඇල්බම් එකනම් දැන් මේ වෙද්දි ලංකාවෙනම් " අවුට් ඔෆ් පැෂන් " මගෙ හිතේ. මගේ නේපාල් මිතුරුයන් කිව්වෙ එයාලගෙ විවාහ ජායාරූප ගන්න ලංකාවට එනව කියලයි.  ලංකාව ඇමරිකාවටත් වඩා ඉස්සරහින්නෙ කියල හිතෙන්නෙ මේව ඇහෙනකොට...

                        විවාහ වෙන්නෙ එක පාරනෙ කියල පුළුවන් තරමට හොඳට මඟුල් ගත්තට ඒ මුදල් බැංකුවක දාගත්තනම් වගේ සිතුවිලිත් එන වෙලාවල් නැත්තෙ නෑ. ලඟදි විවාහවුන
ඹර කුමාරයගෙ ඥාති සොහොයුරෙක්නම් අම්මලාට කිව්වෙ විවාහය වෙනුවෙන් වියදම් කරන සල්ලි ගෙයක් හදාගන්න දෙන්න කියලලු. හිතල බලද්දි ඒ කතාවෙත් ඇත්තක් තියනව.
අපි ඉතින් ඔය මොන කතා කිව්වත් දෙමාපියො කැමති තමන්ට පුලුවන් ඉහලින් මඟුලක් අරන් දරුවො දීග දෙන්නනෙ. දරුවෙක් හඳ පානෙ ,හොර රහසේ දීග ගියාම අම්මලා තාත්තල සතු‍ටු වෙන්නෙ නෑනෙ මඟුලට වියදම් වෙන සල්ලි ඉතුරුයි කියල.

           හඳ පානෙ ගියත් ඉතින් කොහොම හරි මඟුල් පින්තූරයක් ගන්නෙ කවද හරි දවසක දරුවන්ට පෙන්නන්න කියලනෙ. දැන්කාලෙනම් ඔය දෙමාපියන්ට හොරෙන් වෙන විවාහත් පැවැත් වෙන්නෙ රටටම මඟුල් කියලනෙ. මම දන්න කියන ගෑණු ළමයෙක් හිටිය, දෙමාපියො ගුරුවරු. ප්‍රේම සම්බන්දයක් ඇතිකරගත්ත හරි හමන් රස්සාවක් නොතිබ්බ කොල්ලෙක් එක්ක, දෙමාපියො තදින්ම විරුද්ද උනා. ගැණු ළමය හිතුවක්කාරෙට දීග ගියා..  හිතුවක්කාරෙට කිව්වට ඉතින් මඟුල් කාඩ් යවල මඟුල් සාරි ඇදල උත්සවයකුත් අරන් තමා බැන්දෙ.

 ඉපදීමත් මරණයත් අපිට ඕනෙ හැටියකට කරන්න නොලැබෙන එකේ ,ජීවිතේ අනික් ලොකුම සංදිස්ථානය වෙච්චි විවාහය තම තමන්ට ඕනෙ හැටියකට කරගන්නනෙ අපි කවුරුත් බලන්නෙ. කොහොම මඟුල් ගත්තත් ඉතින් අන්තිමටනම් වැදගත්වෙන්නෙ ඊට පස්සෙ ගෙවන ජීවිතය කියන එකත් අමතක කරන්න නරකයි.

Sunday, June 9, 2013

දෙවසරක් ගෙවිලා!

දන්නෙම නැතුව රෝස කැළේට අවුරුදු දෙකකුත් ගෙවිල... මහා ලොකු ලියවිල්ලක් මේ අවුරුදු දෙක පුරා ලියවුනේ නැතත්, මාත් එක්ක රෝස කැළේ මල් නෙලපු හැමෝටම ගොඩාක් ස්තූතියි...

මෙන්න ඉතින් ඔයාලට අරන් යන්න ඕන තරම් රෝස මල් ..............

Monday, May 13, 2013

බ්‍රවුනි

       
උසස් පෙළ කරන කාලෙ කොහේද ඉදන් ආව බළල් අම්මෙක් පුන්චි පැටව් තුන්දෙනෙක් බිහිලා ගෙයින් එපිට ගරාජ්යේ.සුදු අළු සහ තැඹිලි ...පුළුන් බෝල වගේ හිටිය මේ අය අපේ ගෙදර ඉපදුනාට මොකද අපි ගාවටවත් එන්නෙ නෑ. ආඩම්බරයි හරියට..
             ටිකකාලෙකින් අම්ම ආගිය අතක් නැතිඋනා. තනිවුන පුංචි පූස් බබාල බඩගින්නෙ තියන්න බෑනෙ, ඒ නිසා මාළු අනපු බත් කටක් දෙන්න අපි කිට්‍ටු උනා.හපෝ මෙයාල දුවනව හතර අතේ. ටිකකලකින් ඔන්න එක්කෙනා දෙන්න අපි එක්ක යාළු වෙන්න ගත්ත. ඒත් ලස්සනම ලස්සන තැඹිලි බබා නෙමෙ අපි දිහා බලන්නෙවත්.චුට්ට චුට්ට කෑම ජාති දිදී අපි අමාරුවෙන් එයාවත් යාළුකරගත්ත. දැන් අපේ ගෙදර පූස් පැටව් තුන්දෙනයි.  ගෙදරට යන එන අය දැන් මෙයාලව ඉල්ලනව, තුන්දෙනෙක් ඉන්න එකෙ එක්කෙනෙක් තියගන අනිත් අය දෙන්න තීරනය කලේ ගෙදර ලොකු ඇත්තො පොඩි ඈයන්ටනම් හිත තුන්දෙනාම තියගන්න. කොහෙත් වගේ බලවත් ඇත්තො ජය අරන් සුදු පූස් එක්ක අළු පූස් ගෙදරින් ගියා. අළු පූස්ටනම් එකෙන් උනේ වාසියක්. එයා ගියෙ කෑම කඩයක් අයිති කෙනෙක්ගෙ ගෙදරකට ගේ තිබුනෙ කඩේට පිටිපස්සෙන්. කාල කාල හොද ගානට තරබාරු උන අළු පූස් කඩේ එහෙට මෙහෙට ඇවිදින හැටි ඉද හිට ඒ කඩේ යන අපිටත් දකින්න ලැබුන. එයාටනම් අපිව මතක නෑ ආඩම්බරෙන් ඇවිදල අපිවත් පහුකරගෙන යනව.
        කොහොමින් කොහොමහරි ගෙදර ඉතුරු උන එක්කෙනාට නම වැ‍ටුනෙ බ්‍රවුනි කියල.හිමින් හිමින් අපිත් එක්ක එයත් ලොකු උනා. එයා මගේ ඇද පාමුල නිදන්නත් උදේට මගේ කිරි වීදුරුවෙන්, දවල්ට බත් පතෙන් කොටස ලැබෙන නිසා මා වටේම දැවටෙන්නත් පුරුදු උනේ පොඩිකාලෙමයි. ඔන්න ඔහොමතමයි බ්‍රවුනි රෝස කුමාරිට අයිතිඋනේ. මම පාඩම් කරනවනම් එයා එනව ඇඟමැලි කඩමින් ඇවිත් ඉදගන්නව මේසෙ කොනක. ඔන්න ටිකකින් එයාට කම්මැලියි ඇවිත් දැවටෙනව පුරු පුරු ගානව. මම ඒත් එයාව ගනන් ගන්නෙ නැතුව පාඩම් කරනවනම් ඔන්න එයට තරහ යනව. කරන්නම්කො හොද වැඩක් කියල හිතලඩ කොහෙද ඇවිල්ල නිදාගන්නව මගේ පොත උඩ.
           බ්‍රවුනි හරි කම්මැලිය. මීයෙක් ඇඟ උඩින් පැනල ගියත් මෙයානෙමේ ඇහැක් ඇරල බලන්නෙ. ඔන්න ඒ උනාට අහින්සක කුරුලු පැටියෙක් ගහක ඉන්නවනම්  හිමීට හොර බැල්මදාගෙන කැරකෙනව වටේට.කුස්සියේ මාළු කපන වෙලාවටනම් එයා කුස්සියට වෙලා ඉන්නෙ මාළු ටික පරිස්සම් කරන වගේ. මාළු කෑල්ලක් ලැබෙනකම් කැරකෙනව උයන කෙනා වටේ. මහ කපටියෙක්.  මෙයා හරි පිරිසුදු බළල් පැටියෙක් මොකද රෝස කුමාරි සති දෙකකට විතර සැරයක් එයාව නාවනවනෙ... ඔව් ඔව් පූස් බබාව තමා... පූස් බබාල නාන්න අකමැති උනාට යන එන තැනුයි කන දේවලුයි එක්ක නාවන්නෙ නැතුව කොහොමද. මම ඉතින් ෂැම්පූ එහෙමත් දාල නාවන්නෙ. නාවනකන් දඟලනව පැනගන්න හැබැයි කවදාවත් එයාගෙ පුළුන් කොට්ට අස්සෙ තියන විස කූරුනම් එලියට අරන් නෑ. නාවල හොදට පිහල තමා අත අරින්නෙ නැත්නම් දුවල ගිහින් මිදුලෙ පෙරන්ලෙනවනෙ.
         මගේ මාමගෙ දුව හරිම ආදරෙයි පූස් හාමිලට. ආදරේ වැඩිකමට එයාලව බදාගන තුරුල් කරන් තමා ඉන්නෙ. ලංකාවෙන් පිට ජීවත්වුන එයා ඉද හිට ආවම බ්‍රවුනිට හෙලවෙන්නත් නෑ. බ්‍රවුනිත් මෙයාගෙ හැටි දන්න නිසා එය ඉන්න කාලෙට එලිපහලියට එනව එහෙම අඩුයි.
 දවසක් අපි ඔක්කොම සාලෙ ඉදගෙන කතාකරමින් හිටිය. හැල්මෙ කුස්සියේ ඉදන් දුවගෙන ආපු බ්‍රවුනි සාලෙට ඇතුල්වෙන තැන් ඉද්ද ගැහුව වගේ නැවතුනා.. ඒ මාමගෙ දුවව දැකල. දැන් මෙයා දන්නව සාලෙට ගියොත් අත්වෙන ඉරනම. ඉතින් ඔන්න ඊළඟට හිමීට බිත්තියේ හැප්පි හැප්පි හොරෙක් වගේ හිමින් අඩි තිය තිය අපිව පහුකරල යනව.
බ්‍රවුනි තමයි මම තේරුම් යනකාලෙ මට හිටිය එකම සුරතලා. මම කොච්ච්චර ආදරේද කිව්වොත් බඹර කුමාරය එයාව නැට්ට කොටාට දෙන්න ප්ලෑන් ගැහුව. නැට්ට කොටා කිව්වෙ එයාලගෙ ආච්චිලාගෙ ගෙවල් ගාව වෙලේ කබරය...
බ්‍රවුනි දවසින් දවස වැඩුන මාත් විවාහ වෙලා මෙහෙ ආව. මමත් ඉතින් කතාකලාම අහනව එයාගෙ විස්තර දවසක් ලොකු අම්ම කිව්ව එයා දැන් පොඩි නෑ. රවුම් ගහල ගහල කන්න විතරයි ගෙඩර එන්නෙ කියල. කාලයත් ගෙවුන.. ඔන්න මාසෙකට විතර කලින් පුංචි පින්තුර වගයක් දැම්ම මූනු පොතේ. බ්‍රවුනියි එයාගෙ බබාලයි කියල....බ්‍රවුනි පුන්චි පූස් බබාල තුන්දෙනෙක් ගෙදරට ගෙනකන් අපි හැමෝම හිතාගන හිටියෙ එය පූස් මල්ලියෙක් කියල...හපොයි!
මගේ හුරතල් බ්‍රවුනි දැන් ආදර අම්ම කෙනෙක්! එයාගෙ බබාල තුන්දෙනා, මිමී, නිනී , ටිටී සුදු, අළු තැඹිලි පාටයි. හරියටම බ්‍රවුනියි එයාගෙ සහෝදරයොයි වගේ.

Friday, January 18, 2013

අතීතයේ කතාවක් !

                 
           මීට අවුරුදු 25 කට 30 කට කලින් හරියටම කියනවනම් 1983 ජූලි 23 දා ශ්‍රී ලංකාවේ ඇතිවුන යුධවාතාවවරණය අපි කාටත් අමතක නෑ. මම ඉපදෙනකොටත් යුද්ධය ආරම්භවෙලා. ඒ කාලෙ අපි හීන දැක්ක යුද්ධයක් නැති සුරක්ෂිත ශ්‍රීලංකාවක් (යුද්ධයෙන් පසුවත් අපිට තවමත් සුරක්ෂිත බව හීනයක්). මම ඒ කාලෙ හිතුවෙ අපිට කවදහරි මේ යුද්ධයේ අවසානයක් දකින නොලැබෙයි කියල. ඒත් ඒ කාලකන්නි යුද්ධය අද ලංකාවෙ නෑ. හමුදාවෙ ඉන්න පුතා ගැන ගින්දර පත්තුවෙවී ඉන්න අම්මලට ,තම සැමියා ගැන සුසුම් හෙලන බිරින්දෑවරුන්ට දැන් හදවතින් හිනාවෙන්න පුළුවන් ඒ 2009 අවුරුද්දෙ යුද්ධයට නැවතීමේ තිත තිබ්බ නිසා.(යුද්ධය ජයග්‍රහණය කළා කියල නොකිව්වෙ ඇත්තටම අන්තිමේදි අපි දිනලද කියල හිතෙන නිසයි.) යුධ අවසාන වෙද්දි මම මේ රටට ඇවිත් මාස පහක් විතර ගෙවුනා විතරයි. ඔය ගැන ඔච්චරක් ඇති ඔය මාතෘකාව දැන් හොඳටම විකුනගනකාල වෙළදභාණ්ඩයකටත් වඩා පහතට දාල ඉවරයිනෙ, මම මේ විදියෙ ආරම්භයක් ගත්තෙ මීට අවුරුදු විස්සකට කලින් වුන සිද්ධියක් ගැන කියන්නයි.

                       මගේ ලොකුතාත්ත ඒ කියන්නෙ අම්මගේ තාත්තා හිටපු හමුදාවෙ, ඉන්ජිනේරුරෙජිමේන්තුවේ නිලදාරියෙක් (මට ‍රැන්ක් එකනම් මතක නෑ). මම උපදිද්දි එයා විශාම අරගනයි හිටියෙ. ලොකුතාත්තා හමුදාවට බැඳිලා තිබුනෙ 40 ගනන්වල. විශ්‍රාම අරගන ටිකකාලෙකට පස්සෙ, යුද්ධය ආරම්භවූ පසු ආයෙත් ඔහුට කැඳවීමක් ලැබුන හමුදාවට බැදෙන තරුණයන් පුහුණු කරන්න. ලොකු තාත්තා හමුදාවට බැඳුනු කාලෙ යුද්ධයක් ඇතිවෙන්න ලකුණක්වත් තිබුනෙ නෑලු. ඒකාලෙ පරීක්ශණ ගොඩකටත් පෙනී ඉන්න ඕනලු  හමුදාවට බැදෙන්න. කොහොමහරි එයා මුළු හමුදා දිවියටම ක්‍රියාකාරී යුද්ධයට මුහුණ දුන්නෙ නෑ. මගේ අම්මාගේ බාල සහෝදරියන් දෙදෙනාගෙන් වැඩිමලා, සුදු පුංචි  විවාහ වුන බාප්ප හමුදාවෙ. ඔන්න ඔය විදියටයි අපේ පවුලට දෙවනි හමුදා සාමාජිකයා පැමිණෙන්නෙ. 1993 ඔහු ක්‍රියාන්විත සේවයේ හිටියෙ පූනරීන් වල. පූනරීන් සටන සිදුවන විටත් ඔහු එහි මේජර් වරයකු විදියට හිටිය.
                  
                        අම්මෝ එහෙමත් කාලයක්!!  ඔය කාලෙ මට අවුරුදු 8යි ඒත්  මට හොඳට මතකයි අපේ ගෙදර තිබුන තත්වය.  පුංචි විවාහ වෙලා අවුරුදු දෙකකට කිට්‍ටුයි, බබා ලැබිල මාස කීපයයි. 1993 නොවැම්බර්  මාසයේ ඇතිඋන මේ සටන රේඩියෝ ටීවී පත්තරවල හෝ ගාල යනව. ඒත් අපේ පුංචිට මේ ගැන දැනගන්න කවුරුත් ඉඩ තිබ්බෙ නෑ. (දින වකවානු භරියට බලන්න ගූගල් විමසනකොට මට ලැබුනු තොරතුරු දකිද්දි මට හිතාගන්නත් බැරි උනා කී දෙනෙක් මැරිලද! කීදෙනෙක් අදටත් අතුරුදහන්ද!)  හැමදාම 8ට නිව්ස් අහන අපේ ලොකුතාත්ත ඒක නවත්තපුවම පුංචි අහනව "ඇයි තාත්තෙ නිව්ස් අහන්නෙ නැද්ද? " කියල එතකොට ලොකුතාත්ත බොරුවක් කියනව "නිදාගන්න ඕන" වගේ. පත්තර ගේන්න යවපුවම ආපහු හිස් අතින් එනව පත්තර ඉවරයි කියල.

                      ඒ වෙනකොටත් බාප්ප ගැන ආරංචියක් නෑ. විසි තිස් ගණන් නම් කියනව මිය ගිය අයගෙ. අපේ ගෙදර අය, නෑදෑයො, යාළුවො  එහෙ මෙහේ දුවනව කරගන්න දෙයක් නැතුව. ඔහොම ඉද්දි සති ගාණකට පස්සෙ ආරංචියක් ආව බාප්පත් එක්ක කණ්ඩායමක් කැළේදි හමු වුනා කියල. එයාට ඉතුරුවෙලා තිබුනෙ ඇඳිවත විතරයි. සති ගානක් කැළේ මඩ ගොහොරුවල වතුර බිබී ජීවත් වෙලා තියෙන්නෙ.සමහරුන්ට වෙඩි වැදිල. කොහොමහරි  බාප්ප අනතුරක් නැතුව ආව. එයා ආවයිනුත් පස්සෙ තමා පුංචි විස්තර දැනගත්තෙ. ඔන්න ඔහොම බාප්ප ජීවිතේ බේරගන ආව කියමොකො ඔන්න ඒ සතියෙ ඉරිද පත්තරවල මේ බේරී ආපු කණ්ඩායමේ අයගෙ එක එක සම්මුඛ සාකච්චා, ඔන්න ඒ වගෙ තියනව
"අපි සටන අතහැරියෙ නෑ. අපේ මේජර් X X  XXXXX   කිව්වෙ අපි සටන් කරමු ඒත් යටත් වෙන්නෙ නෑ, කොටින්ට අපි අහු උනොත් එයාටත් වෙඩිතියන්න කියලයි."  වගේ ඒව . හප්පොච්චියේ ඔන්න එයින් පස්සෙ අපේ ගෙදරක තිබ්බ යුද්දෙ..පූනරීන් යුද්දෙටත් හපන්. "හහ්!! ඔය තියෙන්නෙ නමත් එක්ක!  ඔයාට ඕව කියනකොට මාවයි දරුවවයි මතක නැද්ද" " කොහොම හරි ජීවිතෙ බේරගන්නව නෙමෙයි මහ ලොකුවට කියවනව" ඒ අපේ පුංචි. සතියක් විතරම බාප්ප කනේ පුළුන් ගහගන හිටියෙ. ඉන් අවුරුදු ගානකට පස්සෙ රිවි‍රැස මෙහෙයුම්වලටත් සම්භන්ද වුනා බාප්ප. එයින් පස්සෙ විශේෂ අවසර මත විශ්‍රාම ගත්ත.

              ඉතින් ඇත්තටම මේක නෙවේ මම මේ කියන්න ආවෙ  මේක මේ අතුරු කතාවක්.
                     
             පූනරීන් සටනට පෙර ක්‍රියාන්විත ප්‍රදේශවල කඳවුරුවලට අත්‍යාවශ්‍ය ද්‍රව්‍යය අඩංගු පාර්සල්  (care packages) යැවීමට අපේ පාසලෙන් තීරණය කළා. ඉතින් මාත් ඒකට ටූත් පේස්ට්,සබන් තුවා ඇතුළු පාර්සලයක් සූදානම් කළා. අපේ ගෙදර කවුරු හරි ඒ වෙලේ විහිලුවට කිව්ව ඔයා ඔය බාප්පටද යවන්නෙ? නම ලියලම යවන්න  කියල. පොඩි උන්ට තේරනවද ඕව. කියල කටගන්න හම්බ උනේ නෑ මම අර කවරවල ලිව්ව XXXXට දෙන්න , රෝස කුමාරි දුවගෙන් බාප්පාට කියල. පාර්සලේ ඉස්කෝලෙට ගෙනියන්න කලින් අම්ම දැකල ඒ විදියට ලියපු ඒව. එයා මට බැන බැන ඒව අයින් කරල අලුත් ඒව දැම්ම.  ඊට සති කීපකට පස්සෙ පුංචිට කතාකරපු බාප්ප කියල බලන්නකො මාර වැඩක් උනානෙ මෙහෙට ඉස්කෝලෙකින් ආව පාර්සලයක තිබුණු ටූත් පේස්ට් කවරෙක තියනව රෝස කුමාරි බාප්පට දෙන කියල ලියපු එකක්. මොකක්ද ඒ කියල.අම්ම අයින් කලාට කොහොමහරි මම ලියපු එකක් එහෙට ගිහින් ඒ බඩු යැව්වෙ ඒ කඳවුරට විතරක් නෙමේ රට වටේ කඳවුරුවලට ඒව බෙදල තිබුන. කොහොම හරි අහම්බෙන් මගේ පාර්සලය බාප්ප ඉන්න කඳවුරේ කෙනෙක්ට ලැබිල ඒකෙ ටූත් පේස්ට් කවරෙ නම දැකල ඒ කෙනා බාප්පට පෙන්නල. මගේ නමත් තියන නිසා බාප්ප අදුනගන. මම එතකොට තුනේ පන්තියෙ බෝල ලොකු අකුරෙන් ලියල තිබුනෙ. බාප්ප නිවාඩුවට එද්දි ඒ කවරය අරන් එන්න තියන් හිටියත් ඊට කලින්  පූනරින් සටන ඇවිත් ඒ කවරයත් ඊට වඩා ගොඩාක් වටින ජීවිත දහස් ගානකුත් විනාශ කළා.

Tuesday, January 1, 2013

වේගන් සහ වෙජිටේරියන්

           
             මම මස් සහ බිත්තර කන්නෙ නෑ . ඒත් මාළු කනව,පොඩි කාලෙදි මාළුත් ප්‍රතිශේප කලා ඒත් සෞඛ්‍යමය හේතු නිසා මාළු කන්න ටික ටික පටන් ගත්ත. මම ක‍තෝලික ආගමේ,  ආගම නිසා තහචියකුත් නෑ. ඉතින් ඒ නිසාවත් මහා ලොකු ප්‍රතිපත්ති නිසාවත්, එහෙමත් නැත්නම් මස් අසාත්මික තාවයක් නිසාවත් නෙවෙයි මම මස් නොකන්නෙ. මමත් දන්නෙ නෑ හරි හේතුවක් ඔය  කියන ඔක්කොමගෙම එකතුවක් වෙන්න පුළුවන්. හැබැයි මම මස් අල්ලන්න එහෙමත් අකමැතියි සත්තු පවු කියලත් හිතෙනව. ඒත් ඒකම නෙමෙයි හේතුව මොකද මම මාළුකනවනෙ. මට මස් වල සුවද අප්‍රියයි. බිත්තරත් එහෙමයි හැබැයි බිත්තර දැමූ කේක් කනව. කිරි, චීස්, යෝගට් ආදියටත් ඒතරම් මනාපයක් නෑ. 
            ඔයකියන ඔක්කොම කාරනා සලකපුවම මම සාමාන්‍යය අහාර රටාවක් තියන කෙනෙක් නෙවෙයි හැබැයි මම වෙජිටේරියන්වත් වේගන්වත් නෙවෙයි. ඹබර කුමාරයා මස් මාළු කිසිවක් කන්නෙ නෑ ඊයෙ පෙරේදා වෙනකන් ෆාම් බිත්තර වල ජීවය නෑ කියමින් බිත්තර කමින් සිටියත් එක්තරා වෙබ්සයිට්  එකක තිබූ ලිපියක් කියවා ඔන්න ඒ කත් නවැත්තුව. ඒ ලිපියේ තිබුනේ ෆාම් වල බිත්තර ලබාගන්න කිකිලියන්ට වද්දෙන බවත් ඔවුන් කැල්සියම් අඩුවී දුර්වල වූ පසු මසට ගන්නා බවත් (ඒ ලිපියෙ තිබුනෙ බිත්තර කන්න අවශ්‍යය නම් ගෙදර කිකිලියෙක් ඇතිකරන්න කියලයි.).  කොහොම උනත් ඔය ලිපිය කියවල ඒ ගැන මා එක්ක සාඛච්චා කරන්න ආව ඹබර කුමාරය මම ගත්කටටම කිව්වෙ." ඔය ඉතින් කන්නෙ කිකිලි ඩිම්භයක්නෙ" කියලයි. ඔන්න ඒක ඇහුන විතරයි බිත්තර කනවද නැද්ද කිය කිය දෙගිඩියාවෙන් හිටියනම් ඒකත් නැවතුනා. ඔන්න එයා නම් දැන් වෙජිටේරියන්. හබැයි වේගන් නෙමේ.
              මොකක්ද මේ වේගන් කියන්නෙ,වේගන් කෙනෙක් කිසිම සත්වමය ආහාරයක් කන්නෙ නෑ . ඒ කියන්නෙ කිරි චීස් යෝගට් ආදිය කන්නෙත් නෑ. ඒ වගේම කිසිම සත්ව කොටස්වලින් සැදුන බඩු භාණ්ඩයක් පාවිච්චි කරන්නෙත් නෑ. ඒ කිව්වෙ ඔය ලෙදර් සපත්තු ආදිය.කිරි අහාර වලින් වැලකීම ශරීරයට කොයිතරම් හිතකරද කියන්න මට පුළුවන් කමක් නෑ. හැබැයි මස් මාළු කිරි බිත්තර නොකන කෙනෙක් අනිවාර්යයෙන්ම ආදේශක ආහාර මගින් ප්‍රෝටීන් , කැල්සියම් ආදී  පෝෂ්‍යය පදාර්ථයන් ලබාගත යුතුයි. ඒ වගේම එළවළු බහුල වශයෙන් ආහාරයට ගත යුතුයි. සමහරුන් මස් ආහාර්යට නොගන්නෙ ආගමික හේතු මත තව සමහරුන් සතුන්ට ඇති ආදරයට. සමහරුන් අසාත්මිකතා නිසා. මේ කොයි හැටි උනත් හැමෝම අහාරයේ සමතුලිත බව ‍රැකගන්න මහන්සි වෙන්න ඕන. සෝයා ආහාර මස් නොකන අයට ප්‍රෝටීන් ලබාගැනීමට තිබෙන හොඳ ක්‍රමයක්.

 මට හදිස්සියේ වේගන් ,වෙජිජේරියන් කට්ටිය මතක් උනේ මෙන්න මෙයා නිසා.

 

           Anne Hathaway , ඈ The Princess Diaries ,The Devil Wears Prada, Becoming Jane,Rachel Getting MarriedAlice in Wonderland, The Dark Knight Rises  ආදී ජනප්‍රිය චිත්‍රපට බොහෝමයක රඟපා බොහොම ප්‍රසිද්ධියට පත්වූ නිලියක්. ඇගේ අලුත්ම චිත්‍රපටය Les Misérables (මනුතාපය) පසුගිය දා ප්‍රදර්ශණය ඇරඹුවා. ඒ චිත්‍රපටයවෙනුවෙන් ඈට කොන්ඩය කපාදමන්න සිදු උනා...  කොණ්ඩය චිත්‍ර පට, නාට්‍යය වෙනුවෙන් කපා දමන්න සිදුවීම අලුත් දෙයක් නොවුනත් මෙහි විශේෂත්වය උනේ ඇගේ විවාහය ඉන් මාස කීපයකට පසු පැවැත්වීමයි. ඇගේ සිහින විවාහ මංගල්‍යය ඉතා කොට කොණ්ඩයක් සහිතව පවත්වන්න වේ යැයි ඈ කවදාවත්ම නොසිතූ බව මාධ්‍යයට පවසා තිබුනා.ආරම්භක කතාව මේ කතාවට සම්බන්ද වෙන්නෙ ඔන්න ඔය විවාහ උත්සවයේදී.
         වේගන් කෙනෙක් වන Anne Hathaway ඒ උත්සවය පවත්වා තිබුනෙත් කිසිදු සත්වමය ආහාර වර්ගයකින් තොරවයි(vegan wedding).  මීට කලින් ජනප්‍රිය නිලි Natalie Portman  ඇගේ විවාහ උත්සවය පවත්වා තිබුනේත් සත්වමය ආහාර නැතිවයි. Anne Hathaway ,Brad Pitt,Natalie Portman,Paul McCartney,  පසුගිය කාලයේ vegan බවට පත්වූ ජනප්‍රිය Hollywood තරු.

කලින් ලියා තැබුවත් ඔන්න අද තමයි සම්පූර්න කරල පෝස්ට් කරන්න අවස්තාව ලැබුනෙ.ශාඛ භක්ශක, සත්ව භක්ශක හෝ සර්ව භක්ශක  ඔබ සැමට වාසනාව සතුට ලැබෙන සුභ නව වසරක් වේවා !!!!