Thursday, August 2, 2012

නායකත්ව පුහුණුව

 

නායකත්ව පුහුණුව කියපු ගමන් මතකෙට එන්නෙ එස්.බී. මහත්තයගෙ හමුදා පුහුණුව උනාට මේ කතාවනම් ඒ ගැන නෙමෙයි ඕං.

රෝස කුමාරි පාසල් යන කාලෙ ඔය ශිෂ්‍යය නායිකාවක් වෙලා උන්නනෙ. ඉතින් ඒ පට්ටම ලැබෙන්න කලියෙන් තිබුන නායකත්ව පුහුණුක්. එතකොට ඉතින් මං තුමී 11 වසරෙ. මේක දවස් තුනක  නේවාසික පුහුණුවක්. ප්‍රදේශයේ ප්‍රසිද්ධ ආගමික මධ්‍යස්ථානෙක තමා තිබුනෙ. මේ වෙනකන් ගෙදර ඈයො එක්ක ඇරෙන්න එක ‍රැයක්වත් මම පිට ඉදල නෑ. ඉතින් මේ ගැන මම හිටියෙ හරි උනන්දුවෙන්. මම ගියෙ ඉතින් බාලිකා පාසලකට(කොන්වන්ට් වර්ගයේ). ඉතින් ඔක්කොම ගෑණු ළමයි  60ක් 70 වක් හිටිය. පාසල් යනකාලෙ මම ඔය ටැප් වලින් එහෙම වතුර බොන්නෙ නෑ. ඒ විතරක් නෙවෙයි කොහේ ගියත් අලී බෝතලයකට වතුර අරගනතමා යන්නෙ. ඉතින් දැන් මට හරි ප්‍රශ්නෙ දවස් තුනක් නොදන්න තැනක වතුර බොන එක ගැන. දහ අතේ කල්පනා කලා මේ ගැන. අන්තිමට ටිකිරි මොලේට ආව අයිඩියා එකක්. ඔන්න දැන් ඒ පුහුණුවට යන දවසෙ මම ආව පාසලට. හැමෝගාවම ටිකක් විශාල පාසල් බෑග්.අපි නවාතැනට ඇවිත් ඇදක් එහෙම ‍තෝරගෙන  ඒවට දාන්න බෙඩ්ෂීට්ස් ගන්න බෑග් එක ඇරිය. ලග හිටිය යාළුව බය උනා මගෙ බෑග් එක දැකල. මොකද දන්නවද ඒකෙ පිරිල තිබුනෙ වතුර පුරවපු  මෙගා බෝතල්......යාළුවට හොන්දටම හිනා ඒ මදිවට අනිත් අයටත් කියල ඔක්කොමල මට ඉතින් හිනා උනා. ඒත් ඔන්න හවස් වෙද්දි කට්ටිය අහනව. "රෝස කුමාරි ඔයාගෙ වතුර එකෙන් ටිකක් දෙන්න පුළුවන්ද කියල" මට ඉතින් තරහයි මාව විහිළුවට ගන්නව කියල. බලද්දි ඒ ගොල්ලො වතුර ඉල්ලල තියෙන්නෙ ඇත්තට.මොකද එහෙ වතුර හොඳටම කිවුල් ලු.

ඒ දවස් තුන හරිම සුන්දරයි. අපිට පුහුණුව ලබාදෙන්න සහෝදරයො දෙන්නෙක් සහ සහෝදරියක් ඇවිත් හිටිය ඒ සඳහා සුදුසුකම් ලබපු. අක්කනම් කෙට්‍ටුයි උසයි, අනිත් දෙන්නගෙන් එක අයිය කෙනෙක් හොඳට මහතයි අනිත් එක්කෙන හරි කෙට්‍ටුයි පොඩියි. අපි මෙයාලට නම් දාගත්ත ජිම් පප්ප, චූටි කුකූ සහ සුදු චූටි කියල. එයාලත් දන්නව ඉතින් අපි එහෙම කියනව කියල. අන්තිමේට යනදවසෙ අපි ඒගොල්ලන්ට දුන්න ස්තූති පතේ පවා ලිව්වෙ එහෙමයි. එයාලට අමතරව පූජකවරු, ගුරු මහත්ම මහත්මීන් ආදියත් ආව දේශන වලට. අර තුන්දෙනා කලේ අපිට එක එක ක්‍රියාකාරකම් ලබාදීපු එක. මේ ගොඩක් ක්‍රියාකාරකම් අපිට සෙල්ලම් වගේ උනාට අන්තිමට අපිට ඒවයින් ඉගනගන්න දේවල් ගොඩක් තිබුන.

 ඒ එක ක්‍රියාකාර කමක් මෙන්න මේ විදියයි. එයාල අපිව කණ්ඩායම් වලට වෙන්කරල නායකයො පත් කලා. ඊළගට අපිට බීම බට වගයක් හා ඇල්පෙනිති ලබාදීල කිව්ව කැමති නිර්මාණයක් නියමිත වෙලාවට කරල පෙන්නන්න කියල. අපි තීරනය කලේ ගෙයක් නිර්මාණය කරන්න. අපේ කණ්ඩායමේ නායිකාවගෙ වැඩේම අනේ ඔයාලගෙ අතේ ඇනෙයි  ඔය ඇල්පෙනිති. "පරිස්සමින්,ඔය බලන්න ඒක මලකඩ කාල ඒක අල්ලන්න එපා" කිය කිය වදයක් වෙන තරමට කියවපු එක.   ඉතින් අන්තිමේදි අපෙන් අපේ නායකයා කොහොමද කියල ඇහුව. කට්ටිය දැන් එක එක ඒව කියනව. අපේ කණ්ඩායමේ අය කිව්ව "මෙයා නිකන් අපේ අම්ම වගේ අරම වෙයි මෙහෙම වෙයි කිය කිය ඇල්පෙනිත්තවත් අල්ලන දෙන්නෙ නෑ" කියල.  එක කණ්ඩායමක ඇරෙන්න අනිත් කණ්ඩායම් වලත් තත්වෙ ඕකයි නායකයට බැනුම් . එක කණ්ඩායමක නායකය කිසි දෙයක් කරක නතුව කයිය ගගහ ඉදල ,තව එකක නායකය තනියම වැඩේ කරල අනිත් අයගෙන් උදව් නොගෙන .දරුණුම තත්වෙ තිබුනෙ ඉතිරි කණ්ඩායමේ. ඒකෙ නායකය තනිකර ඕඩර්ස් දීල ඒ මදිවට් හෙන සද්දෙත් දානවලු. ඒ කණ්සායමේ සමහ අය ඇඬුවත් එක්ක.
 ඇත්තටම මෙන්න මේකයි වෙලා තියෙන්නෙ, ඒ ක්‍රියාකාරකම කරල තියෙන්නෙ අපිට නායකයින් වර්ග පහ කියල දෙන්න.(අලස,මාතෘ/පීතෘ, ඒකාධිපති,අවිශ්වාසී හා ප්‍රජාතන්ත්‍රවාදී) පුහුණු කණ්ඩායම කලින් කීපදෙනෙක් තොරගෙන ඒ අයට මේ ගැන කියල දැනුවත් කරල තිබිල තියෙන්නෙ.ඒ හැමෝම කරල තියෙන්නෙ රඟපෑමක්. ඒ ගැන දැනගත්තම වැඩියෙන්ම සතුටූඋනේ ඒකාධිපති නායකය හිටිය කණ්ඩායමේ අය. "අම්මෝ ඇතියන්තම් අපි හිතුවෙ මෙයා එක්ක කොහොම එකට වැඩකරන්නඩ කියල" එහෙමයි එයාල කිව්වෙ. මේ මුළු නාටකය පුරාම නොසැලුනු කෙනෙක් තමා මේ රෝස කුමාරි.(මං කොහොමත් වීරයනෙ). මගේ ඥාති සොයුරියක් කලින් ඔය ශිෂ්‍යය නායක පට්ටමක් ලැබිල මේ පුහුණුවට ඇවිත් තිබුන. ඈ ඉතින් අපිට A to Z වාර්ථාකරල තිබුනෙ. මම වගේම තව කීපදෙනෙක් ඇවිත් හිටිය කලින් දැනුවත් වෙලා.පුහුණු කණ්ඩායමටත් මේ ගැන ඉව වැටිල  අපෙන් ඇහුව අපිත් ඉතින් ඇත්තම කිව්ව. ඊලඟට එයාල අපෙන් පොරොන්දුවක් ගත්ත ඒ පුහුණුවෙ කෙරුනු ක්‍රියාකාරකම් කාටවත් කියන්නෙ නෑ කියල. මාත් ඉතින් කිව්වෙ නෑ කාටවත්ම.මේ බ්ලොග් එකේ"ලිව්ව" ඇරෙන්න