වල් වැදිල හොදටම පාලු වෙලා තිබුන රෝස කැළේට රෝස කුමාරි දුවගෙන දුවගෙන මේ ආවෙ අද ඉදන් ආයෙමත් රෝස කැළේ මල් පිපෙනව කියල ඔයාල හැමෝටම කියන්න.
අද තමයි දිග නිවාඩුවක ආරම්භය. :) වැඩ ඉවර උන ගමන්ම මේ ආවෙ ආයෙ සුපුරුදු විඩියට ලියන්න පටන්ගන්න විත්තිය කියන්න. රෝස කැළේ මල් නෙලන්න ආපු හැමෝම ආයෙත් මේ පැත්තෙ එයි කියල රෝස කුමාරි බලන් ඉන්නව.
Thursday, May 3, 2012
Tuesday, December 6, 2011
හින්චි පින්චි හාවා !!!!
පවුලට හම්බ උන පළවෙනි grandchild වෙච්ච මට අපේ ලොකු අම්මගෙයි ලොකු තාත්තගෙයි ( අපේ අම්මගෙ අම්මටයි තාත්තටයි අපි කිව්වෙ ලොකු අම්ම ලොකු තාත්ත කියල) ආදරේ සෑහෙන කල් යනකන් තනියම බුක්තිවිදින්න චාන්ස් එක ලැබුන. ඉතින් ඔය ළමා සින්දු ආකරේම මට ගායනා කළේ මගේ ලොකු අම්ම. එයාට ලස්සසනට ගයන්නන්ත් පුළුවන්. ටිකක් ලොකු කාලෙ ඒ ගීත රේඩියෝවෙ ,රූපවාහිනියෙ යද්දි මම හිතුවෙ ආනේ අපේ ලොකු අම්මගෙ සින්දු මෙයාඅලත් දන්නවනෙ කියලයි.අදටත් ළමා වයසෙ ඉන්න මගේ ඥාති සහෝදරයන්ට ඒ සින්දු කියල දෙන්නෙ ලොකු අම්ම.ඒ ගොඩක් සින්දු මම හිතන්නෙ ගුවන්විදුලියෙ ළමා පිටියෙ ගායනාවෙච්ච.
දැන්කාලෙනම් පුංචි දරුවන්ට සින්දුවක් කියන්න කිව්වම කියන්නෙ ලොකු මිනිස්සුන්ගෙ සින්දුනෙ. අච්චර ලස්සන ළමා සින්දු කාලයේ වැලිතලාවෙන් වැහිල ගිය හැටි හරි පුදුමයි. පැරණි ළමාගී ආයෙත් කරළියට ආව ස්වර්ණවාහිනියේ විකාශය වුන ජැක්සන් ඇන්තනී මහත්මයාගේ "හපන් පැදුර " වැඩසටහනත් සමඟ. ආයෙත් ළමයි ඒ සින්දු ගයන්න පටන්ගත්ත. ඔය වැඩසටහන යනකාලෙ මම උසස්පෙළ පන්තියෙ. තරුණ වයසෙ ආරම්භක අවදියක හිටියත් ඒ වැඩසටහන් යන වෙලේට දුවගන ඇවිත් රූපවාහිනිය ඉදිරියෙ ඉදගන්නව. ඒ විතරක් නෙමේ අපි ඉස්කෝලෙදි උනත් විනෝදෙට ඔය සින්දු ගැයුව.
හින්චි පින්චි හාවා, මේ හොඳ ලස්සන බෝනික්කා,ටක්ගානව ටික් ගානව,කරුංක ගෙඩියක් තරමට කොන්ඩෙ බැඳලා, කුරුම්බැට්ටි මැෂිමේ, කොටු වැටිච්ච පුන්චි සරම,හිනැහේවී බෝනික්කා, මිදුලේ වැලි මාලිඟාව................තව කොච්චරනම් තියනවද. අපේ ළමාකාලෙ රසවත් කරන්න මේ ගීත ලියපු,ගයපු නැන්දල මාමලාට බොහොම පින්... ඒ වගේම අපේ දරුවන්ටත් මේ ගීත ගුවන් විදුලිය රූපවාහිනිය ඔස්සේ අහන්න ලැබේවා කියලත් පතනව. ලොකු අයගෙ සින්දු පුන්චි අයගෙ මුවින් පිටවෙනකොට ලස්සන නෑ. ළමයින්ට වඩා ගැලපෙන මේ වගේ ගීත පුරුදුකරන එක අම්මල තාත්තලා කරන්න ඕනෙ. මේ ගීතවල් සීඩී තැටි මිලදීහ්ගන්න තැනක් එහෙම දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ,පොඩි දරුවො ඉන්න දෙමාපියන්ට ඒක උදව්වක් වෙයි.
Wednesday, November 16, 2011
ලංකාවෙද????
පහුගිය දවසක මම දුර බැහැරක ගියා කියල කලින් පෝස්ට් එකේ කිව්වනෙ.ඉතින් ඔය දුර ගමන ගියෙ ස්ම්මන්ත්‍රණයකට සහභාගීවෙන්න.එතන සුදු කට්ටිය,කළු කට්ටිය, චීන අය වගේම අපේ පෙනුමට හුරු ඉන්දියානු අය එහෙම හිටිය. ඔය ස්ම්මන්ත්‍රණේට අපි එක්කගිය ලංකාවෙ ඇත්තො ඇරුනම තවත් වෙන වෙන දිහාවෙනුත් ලංකාවෙ අය සහභාගි වෙලා තිබුණ. කොහොමද මම දන්නෙ ලංකාවෙ අය හිටිය කියල? මට ඒ කවුරුවත්ම මුනගැහුනෙ නෑ... ...????????
මම ඒක දැන ගත්තෙ නම් ලිස්ට් එකෙන්. සහභාගි වෙන අයගෙ නම් තියන මහ පොතක් හම්භවෙනවනෙ ඔය සම්මන්ත්‍රණවල. කම්මැලි වෙලාවක ඔය නම් පිටුව පෙරලගන කියවමින් ඉන්න කොට මෙන්න තියනව තවත් සිංහල නම් !!!. ලෝකෙ කොහෙ හිටියත් ලාංකික සිංහලයන්ගෙ වාසගම කියපුගමන් මෙයා ලංකාවෙනෙ කියල හොයගන්න පුළුවන්. අපේ නම් ගම් ගැන බ්ලොග් අවකාශයේ ඉන්න ගොඩදෙනෙක් ලියලත් තියනවනෙ...මේ මගේ "නම්" ගැන පෝස්ට් එක.
මගේ නමත් ඔය කාට කාටත් තියනව වගේ අරයගෙ මෙයාගෙ කෑලි එක්ක තියන දිගම දිග එකක්.ලංකාවෙදිනම් ඉතින් ඔය නම ඒ හැටි කරදරයක් උනේ නෑ. මෙහෙ ඒකටත් එක්ක මම මෙ නමත් එක්ක හරිම කරදර ගොඩක වැටෙනව ඕනම ලියකියවිලි වැඩකදි. ගොඩක් වෙලේට මට ඔය නම ලියන්න තියන ඉඩ මදිවෙනව.එත්කොට වාසගමෙ ලියන්න පුළුවන් අකුරු ගාන ලියන්න කියන එක තම මට ලැබෙන උපදෙස. ඕක් නිසා මගෙ නම හරි අච්චාරුවක් වගේ තමා කියවන කෙනෙක්ට හිතෙන්නෙ.
අපි හැමෝම ඉංග්‍රීසියෙන් ලියනකොට පවත්වාගන යන අකුරු ක්‍රමයක් තියනවනෙ, එකම නම ලියන ක්‍රම කීපයක් තියෙන්න පුළුවන් නිසා මේ පවත්වාගැනීම හරි වැදගත්. මම ඇමරිකාවට එන්න යනවෙලෙ ඊට කීප අවුරුද්දකට කලින් ගත් මගේ ගුවන් ගමන් බලපත්‍රය බඹර කුමාරය බලල ඔලුවෙ අතහ්ගහගත්ත. "මේ ඔයාගෙ නමේ වෙනුවට තියෙන්නෙ නෙ" ඔන්න එතකොටයි මමත් දැක්කෙ මගේ වාසාගමේ ඒ වැරැද්ද.ගුවන් ගමන් බලපත්‍ර වල නම ඉතින් සමහරුන්ගෙ වරදිනවනෙ,හොඳම වැඩේ නම වැරදීම නෙමේ, ඒ වැරදි නමත් එක්ක මම කලින් ගුවන් ගමන් වල යෙදිලතිබීමයි.ඒ වෙනකොට මම පාවිච්චිකරමින් හිටියෙ මගෙ දෙවනි ගුවන්ගමන් බලපත්‍රය. බලපත්‍ර දෙකේම නම වැරදියි.ඇමරිකාව එක්ක සෙල්ලම් හොඳනැතිනිසාම අපි පහුවදාම ගිහින් නම වෙනස් කරගත්ත.
අපේ පවුලෙ නම් ගැන කියනවන්ම් අපේ අම්මලාගෙ පවුලෙ හැමෝටම තිබුනෙ පරම්පරාවක් ප්ල්ලෙහා නම්. කොහොම උනාද කියන්නනම් දන්නෙ නෑ අපේ අම්මගේ පුංචිලාගෙ,මාමගෙ නම් තිබුණ ආන්ටිල අන්කල්ලා මට හම්බවෙලා නෑ.ඒ නම් තිබුනෙ මගේ යාළුවන්ට...
මට ඉන්නෙ එක මාමායි.එයාතමා අර සතුන්ට බොහොම කැමති එක්කෙනා. අපේ මමගේ හිත හරිම හොඬයි. එයාගෙ ශබ්ද්කෝශයේ "නෑ" "බෑ" වචනදෙක නෑ. කාගෙවත් හිත රිදවන්න කැමතිත් නෑ. ඒ මාට ඉන්නෙ එකම දුවයි. ඒ නඔගිගෙ නම ඉංග්‍රීසි අකුරු ගාණින් කියනවන්ම් මෙන්නමෙහෙමයි. 16-8- 7-7-10-9- 8 රතු පාටින් තියෙන්නෙ පවුලේ නම. නිල් පාටින් නම, කහ පාටින් වාසගම.කොහොමද නමේ දිග. නම් හතරක්ම තියනව මදි නොකියන්න.
මේ නම මෙච්චර දික් වුනේ කොහොමද දන්නවද?
"අනේ ලස්සන දුව. අපි එයාට දාමු" .. "දුවෙක් ලැබුනොත් මේ නමතමා මම හිතුවෙ අයියෙ අපි මේකත් දාමු" "පුතේ ඔන්න මෙ නම දාන්නපුළුවන් දෝණිට"
ඒ අපේ පුංචිල ,ආච්චිල ,නැන්දල හා එකී මෙකී ඔක්කොමල.
අපේ මාම. "ඔව් නෙ හරි ලස්සන නම. අපි දාමුකො..."
ඔන්නඔහොම ඔක්කොමලගෙ හිත සුව පිනිස දරුවගෙ නම යාරයක් විතර දික්වුනා. එයාල දැන් ඉන්නෙ පිටරටක. නංගි ඉගන ගන්නෙත් පිටරටක ඒළමයට නම ලියන්න වෙන හැම වෙලේම ඉතින් පනයනව..ඊට පස්සෙ ටිකක් දැනුම් තේරුම් කාලෙ එයා ඒ නම කෙටි කරවගත්ත අම්ම තාත්තට නහයෙන් අඬල. නම් දාපු අයනම් තාම ඒ ගැන දන්නෙ නෑ....
ඔන්න ඔහොමයි ලංකාවෙ නම්වල රඟ.
Tuesday, November 8, 2011
සාපේක්ශයි!!
අද ලියනව හෙට ලියනව කිය කිය හිටියට වෙලාවක් හම්බූඋනේම නෑ.දුර ගමනක් යන්න වුනා . ගෙවල් මාරු කරන්නත් උනා ඒ අස්සෙ. පෙට්ටිවලට පුරවල අරන් ආපු බඩු තාම එහෙමමයි. ගිය ගමන විනෝද ගමනක් නොවුනත් විශේෂ කෞතුකාගාර දෙකක් නරඹන්න කොහොම හරි වෙලාව හොයාගත්ත. ඒ ගැන විස්තර පින්තූරත් සමග ඊළඟ දවසෙ අරගන එන්නම්..
අද පෝස්ට් එක ඊට හාත්පසින්ම වෙනස් දෙයක් ගැන....
ඊයේ (7/11/11) වෛද්‍යය කොනාර්ඩ් මරේ , සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ මරණයට වරදකරුවුනා. ඔහුට වෛද්‍යය බලපත්‍රය අහිමි වූ අතර වසර හතරක සිර දඩුවමකුත් නියමවුනා.
කොනාර්ඩ් මරේ, මයිකල් ජැක්සන්ගේ භෞතිකචිකිත්සකවරයා ලෙස වැඩකළා. නින්ද නොයන රෝගයෙන් පෙළුනු මයිකල්ට ප්‍රබල නිර්වින්දකයක් (ප්‍රොපොෆොල්) ලබා දීතිබීම තමා ඔහුගේ වරද.ඒ නිර්වින්දකය නින්දයාම සදහා යොදාගැනීමට නොසුදුසු බවත් කියවුනා. මරේ කිව්වෙනම් මයිකල්ට තමන් ලබාදුන්නෙ ඉතා සීමිත ප්‍රමාණයක් බවත් නමුත් මරේගේ අනුදැනුමෙන් තොරව මයිකල් නිර්වින්දකය විශාල ප්‍රමාණයක් ගත් බවත් තමයි.
කොහොමනමුත් පැය නමයක පමණ සාඛච්චාවකින් පස්සෙ මරේ වරදකරු වුනා,ජැක්සන්ගෙ රසිකයො ජයඝෝෂා නැගුව.
මයිකල් ජැක්සන්ව දන්නෙ නැතිකෙනෙක් මේ ලෝකෙ නැති තරම් ,ඔහු සුපිරි ගායකයෙක් ඒකෙ දෙකක් නෑ. ප්‍රශ්නෙතියෙන්නෙ ඔහුගෙ ගායනයේ නෙමේ .මානසික තත්වයේ. මයිකල් ජැක්සන්ගේ මානසික තත්වය ගැනවරින් වර කතාබහට ලක්වුනා.එහෙව් එකේ මයිකල් ඔවර් ඩෝස් වෙන්න බෙහෙත් ගත්ත එක පුදුමයක් නෑ. ඒත් ඉතින් සුපිරි ගායකයෙක් නිසා කාටහරි මරණෙ වරද පටවන්න රසිකයො කවුරුත් කැමතියි.(Society will always blame someone)මැරුණුකෙනා කිසි වරදක් නොකරපු කෙනාය කියන මානසිකතත්වෙ ලංකාවෙ විතරක් නෙවේ ඇමරිකාවෙ මිනිස්සුන්ටත් තියනව.ජූරි සභිකයො ටිකත් ජැක්සන් ෆෑන්ස් ලද දන්නෙ නෑනෙ. මමත් ජැක්සන් රසිකයෙක්... හැබැයි මම අහනව මිසක් අදහන්නෙ නෑ. ලංකාවෙත් ජැක්සන් අදහන කට්ටිය ඉන්න බව ඉතින් රහසක් නෙමේනෙ. කොහොම නමුත් මරේ හිරේ ගියා!!
ඇමරිකානු නීතිය ලංකාවෙ නීතියට හපන් කියල හිතෙන නඩුතීන්දු ඕනතරම් තියනව. බොහොමයක් ඒව කතාබහට ලක්වුන ඒව.ගොඩක් වෙලේට තර්කවලින් දිනන්න පුළුවන්.ලෝයර් හොඳනම් ගොඩ.වෙලාවකට හිතාගන්නත් බෑ එහෙම උනේ කොහොමද කියල. කයිලී ඇන්තනී කියන පුන්චි දැරියගෙ මරණයත් ඒවගේ අමුතු නඩුවක්.... ඇත්ත ඇති සැටියෙන් දැනගන්න මැරුණු මිනිස්සු නැගිටල එන්න ඕනෙ මගෙ හිතේ.. ඒත් එයා කියන්නෙ ඇත්ත් කියල කොහොමද දැනගන්නෙ.... බලාගනයනකොට ඇත්තත් සාපේක්ශයි.
Thursday, October 20, 2011
කඳුලේ දූපත-බලාපොරොත්තුවේ දූපත
දින කීපයක් තිස්සේ බෝට්‍ටුවක හිරවී ගමන් කිරීම නිසා එමා තෙහෙට්‍ටුවී සිටියා. අවුරුද්දක් වයසැති මල්ලී අම්මා අයර්ලන්තයේ සිට ඔසවාගෙන ආ පිහාටු මෙට්ටයට වී නිදයි. අම්මාත් තාත්තාත් අළුත් බලාපොරොත්තුවකින් සිත් පුරවාගෙන පැද්දෙන බෝට්‍ටු බඳට හිස තබාගන නිදයි. දුඹුරු කෝට් බෑ අඳගත් දුම් උරමින් කාලය ගෙවන පිරිමින්ද දරුවන් නළවමින්ද තමාගේ මළු තුරුල්කොටගෙන දෙවියන් යදින ගැහැණුන්ද තම පවුලේ අය මෙන්ම යන්නේ ඇමරිකානු එක්සත් ජනපදයේ අළුත් ජීවිතයක් ලබාගැනීමටය.බොට්‍ටුවේ බොහොමයක් අයර්ලන්ත ජාතිකයන්ය.තාත්තා මේ ගමනට මුදල් සොයාගත්තේ තම ගේත් ඉඩමත් විකිණීමෙනි.ඉතින් ආපසු යාමක් නැත. සියළුදෙනා දූපතේ පරීක්ෂණයෙන් සමත් වී රටට ඇතුළු විය යුතුය...
1892 සිට 1954 ද්ක්වා කාලයතුළ ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළුවූ සංක්‍රමණිකයින්ගේ ඇතුළුවීමේ ද්වාරය වූයේ "එලිස් දූපත"යි. ඉතා කුඩා දූපතක් වන එලිස් දූපතෙන් එමා වැනි මිලියන අටකටත් වැඩි ජනතාවක් ඇමරිකාවට ඇතුළුවුනා.
මෙම මුළු දූපතටම ඇත්තේ එක් විශාල ගොඩනැඟිල්ලක් පමණයි.සංක්‍රමණිකයන්ගේ ලියකියවිලි පිළියෙල කිරීම හා වෛද්‍යය පරීක්ෂණය සිදු වූයේ මේ ගොඩනැඟිල්ල තුළයි. අද මේ ගොඩනැඟිල්ල හා දූපත සංචාරකයන්ගේ බොහොම අවදානයට ලක්වන කෞතුකාගාරයක්. ඇමරිකාව ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාව මත මෙලෙස සංක්‍රමණිකයන්ට රටට ඇතුළුවීමට නොමිලේ අවස්ථාව ලබාදුන්නා.කළයුතු වූයේ මුහුදු මාර්ගයෙන් එලිස් දූපතට ඇතුළුවී වෛද්‍යය පරීක්ෂණය සමත් වීමයි.
සරලයි වගේ පෙනුනට මේ කටයුත්ත එතරම් පහසු කට යුත්තක් වුනේ නෑ. දවසකට සිය දහස් ගණනින් බඩුමළු උස්සන් මිනිස්සු එලිස් දූපතේ ..විවිධ සංස්කෘතීන් ඇති මිනිසුන් ගොඩක්..... මේ අය ගැහැණු සහ ළමයි වෙනමත් පිරිමි වෙනමත් කොටස් කරල වෛද්‍යය පරීක්ෂණයට යවනවා. තමාගේ ස්වාමියා,බිරිඳ,දරුවන් ගෙන් නොදන්න දේශයක මොහොතකට හෝ වෙන්වෙන්නෙ බොහොම බයෙන්.ඒ විතරක් නෙවේ , සමහර අවස්ථාවක පවුලේ සමහරුන් වෛද්‍ය පරීක්ෂණය අසමත්වී ආපසු තමාගේ රටට පිටත් කර හරිනවා. පිටත් කර හැරි පුද්ගලයා පියානම් මවටත් දරුවන්ටත් ඒ ගැන දැනගන්න වෙන්නේ රටට ඇතුල්වූ පසුවයි.මොකද පිරිමි සහ ගැහැණුන් පරීක්ෂාවට ලක්වන්නේ වෙනම නිසා. අසමත් වූ අයට මෝනම හෙතුවක් මතවත් බෝඩරයෙන් මෙහාට එන්න ලැබෙන්නෙ නෑ.මව ඒ ගැන දැනගන්නවිට සමහරවිට පිය රැගත් බෝට්ට්‍ටුව පිටත්වෙලා ඉවර වෙන්නත් පුළුවන්. මේ වගේ දුක්බර කතා වගේම රටට ඇතුළුවී ජීවිතය ජයගත් අයත් බොහොමයි මේනිසා එලිස් දූපත "කඳුලේ දූපත" හා "බලාපොරොත්තුවේ දූපත"(Island of tears-Island of hope)යන නම්වලින් හදුන්වනවා. මේ එලිස් දූපතේ කතා තේමාකරගන ලියවුන පොත් වගේම නිපදවූ චිත්‍රපටත් බොහොමයි. අද සංචාරක ආකර්ශණීය නැරඹුම් ස්ථානයක් වන එලිස් දූපතට පිහිට තිබෙන්නේ ඉහල නිව්යෝර්ක් මුහුදු බොක්කේ. මේ දූපතට නිව්යොර්ක් නගරයේ සිට ෆෙරී එකකින් ගමන් කරන්න පුළුවන්.
1892 සිට 1954 ද්ක්වා කාලයතුළ ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළුවූ සංක්‍රමණිකයින්ගේ ඇතුළුවීමේ ද්වාරය වූයේ "එලිස් දූපත"යි. ඉතා කුඩා දූපතක් වන එලිස් දූපතෙන් එමා වැනි මිලියන අටකටත් වැඩි ජනතාවක් ඇමරිකාවට ඇතුළුවුනා.
මෙම මුළු දූපතටම ඇත්තේ එක් විශාල ගොඩනැඟිල්ලක් පමණයි.සංක්‍රමණිකයන්ගේ ලියකියවිලි පිළියෙල කිරීම හා වෛද්‍යය පරීක්ෂණය සිදු වූයේ මේ ගොඩනැඟිල්ල තුළයි. අද මේ ගොඩනැඟිල්ල හා දූපත සංචාරකයන්ගේ බොහොම අවදානයට ලක්වන කෞතුකාගාරයක්. ඇමරිකාව ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාව මත මෙලෙස සංක්‍රමණිකයන්ට රටට ඇතුළුවීමට නොමිලේ අවස්ථාව ලබාදුන්නා.කළයුතු වූයේ මුහුදු මාර්ගයෙන් එලිස් දූපතට ඇතුළුවී වෛද්‍යය පරීක්ෂණය සමත් වීමයි.
සරලයි වගේ පෙනුනට මේ කටයුත්ත එතරම් පහසු කට යුත්තක් වුනේ නෑ. දවසකට සිය දහස් ගණනින් බඩුමළු උස්සන් මිනිස්සු එලිස් දූපතේ ..විවිධ සංස්කෘතීන් ඇති මිනිසුන් ගොඩක්..... මේ අය ගැහැණු සහ ළමයි වෙනමත් පිරිමි වෙනමත් කොටස් කරල වෛද්‍යය පරීක්ෂණයට යවනවා. තමාගේ ස්වාමියා,බිරිඳ,දරුවන් ගෙන් නොදන්න දේශයක මොහොතකට හෝ වෙන්වෙන්නෙ බොහොම බයෙන්.ඒ විතරක් නෙවේ , සමහර අවස්ථාවක පවුලේ සමහරුන් වෛද්‍ය පරීක්ෂණය අසමත්වී ආපසු තමාගේ රටට පිටත් කර හරිනවා. පිටත් කර හැරි පුද්ගලයා පියානම් මවටත් දරුවන්ටත් ඒ ගැන දැනගන්න වෙන්නේ රටට ඇතුල්වූ පසුවයි.මොකද පිරිමි සහ ගැහැණුන් පරීක්ෂාවට ලක්වන්නේ වෙනම නිසා. අසමත් වූ අයට මෝනම හෙතුවක් මතවත් බෝඩරයෙන් මෙහාට එන්න ලැබෙන්නෙ නෑ.මව ඒ ගැන දැනගන්නවිට සමහරවිට පිය රැගත් බෝට්ට්‍ටුව පිටත්වෙලා ඉවර වෙන්නත් පුළුවන්. මේ වගේ දුක්බර කතා වගේම රටට ඇතුළුවී ජීවිතය ජයගත් අයත් බොහොමයි මේනිසා එලිස් දූපත "කඳුලේ දූපත" හා "බලාපොරොත්තුවේ දූපත"(Island of tears-Island of hope)යන නම්වලින් හදුන්වනවා. මේ එලිස් දූපතේ කතා තේමාකරගන ලියවුන පොත් වගේම නිපදවූ චිත්‍රපටත් බොහොමයි. අද සංචාරක ආකර්ශණීය නැරඹුම් ස්ථානයක් වන එලිස් දූපතට පිහිට තිබෙන්නේ ඉහල නිව්යෝර්ක් මුහුදු බොක්කේ. මේ දූපතට නිව්යොර්ක් නගරයේ සිට ෆෙරී එකකින් ගමන් කරන්න පුළුවන්.
Wednesday, October 12, 2011
ලිවීම සහ ඉවීම
බැලූ බැල්මට ලිවීම සහ ඉවීම පරිප්පු සහ බෝල්ට් ඇණ වගේ එකිනෙකට කිසි සම්බන්දයක් නැති දෙකක් කියල හිතුනත් ලිවීම ,ඉවීමත් එක්ක බොහොම ගැඹුරු සම්බන්ඳයක් තියනව.
ඉවීමේදී අපි අවශ්‍යය කලමනා සියල්ලම එකතුකරල දන්න හැම රසකාරකයම දාල රසට උයනවා. ලිවීමේදීත් කරන්නෙ ඕකම තමා සියළු රස වචන හා අලාංකෘත යොදල පාඨකයාට රසවත් ලියවිල්ලක් හදනවා.
ඒ ඇරුනම ඉතින් ඔය ගොඩක් සූප සාස්තරයෙන් පරතෙරට ගිය උදවිය ආහාර වට්ටෝරු පොත් ලියනව.ඒ වගේම ඔය ලියන අයත් ඉතින් ගොඩක් වෙලේට ඉවීම ගැන ලියනව.
ගොඩක් බ්ලොග් අඩවි වල අඩුම තරමෙ ආහාරයක් ගැන එහෙමත් නැත්නම් ආහාර වට්ටෝරුවක් ගැන අඩුමගානෙ එක පොස්ට් එකක් වත් තියනවනෙ. ඉතින් මෙහෙම බලද්දි ඉවීමයි ලිවීමයි බොහොම නෑකම් කියන බවකුයි පේන්නෙ.ලිවීම සහ ඉවීම දෙකම ගොඩක් වෙලේට පුද්ගලයා අනුව වෙනස් වෙනව. ප්‍රේම කතා බිහිසුනු කතා සටන් කතා... කිරට,මිරිස්ට තෙලට....එකම කෑම උනත් එක එක්කෙනා උයන්නෙ එක එක විදියට.
රටකින් රටකට සාහිත්‍යය වගේම ආහාර සංස්කෘතියත් වෙනස්.අපි අවම වශයෙන් එක්වේලක්වත් බත් කෑවට හැම රටේම බත් ප්‍රාධාන ආහාරය නෙමෙයිනෙ.
අපේ පවුලේ නිල නොවන රීතියක් තියනව කසාද බදින තුරු පවුලේ ගැහැණු දරුවන්ට කියල ගෙදර කුස්සියේ වැඩ නොගන්න.එ රීත්තියේ නිධාන කතාව වෙන්නේ කසාද බැන්දාට පස්සෙ ගෑණු ළම්යුන්ට උයන එකෙන් නිදහස් වෙන්න බෑනෙ.ඉතින් ඉදිරි ජීවිතේ උයන එක ජීවිතේකොටසක් වෙන නිසා බදින්න කලින් දුවලට ඒ වැඩ කරන්න දෙන්නෙ නෑ. ඔය හේතුව උඩ ඉතින් අපේ අම්මාට සහ සහෝදරියන්ට ඔය උයන කලාව ඉගනගන්නවෙලා තියෙන්නෙ නැන්දම්මලාගෙන්. ගෙදර ඉන්න දවස්වල මම කුස්සිය පැත්ත පලාතෙ එනවට කවුරුවත් කැමතිනෑ. මම සමහර දවසට බලෙන්ම යනව උයන්න ඉගනගන්න කියල.
"මටත් උයන්න ඉගන ගන්න ඕනෙ...මාත් මොනාහරි කරන්නම්.."
"ඔක්කොටම කලින් පොල්ගාන්න ඉගනගන්න එපැයි.එහෙනම් ඔය පොල් ගෙඩිය ගාන්නකො බලන්න"
ඔය විදියට හැමදාම මට දෙන්නෙ පොල්ගාන්න. අපේ ගෙදර තිබුනෙ අර මේසෙට හයිකරන හිරමණයක් එකෙන් පොල්ගාන්න ඉතින් ඕන කෙනෙකුට පුළුවන්නෙ.ඕකෙ ආයෙ මොනා ඉගනගන්නද.ඉතින් මම කිව්වොත් අනේ මට පොල්ගාන්න දන්නවනෙ කියල ඔන්න ඒකට ලැබෙන උත්තරේ."ආ බලමු හරියට දන්නවද කියල... කො ඉත්න් ගාල පෙන්නන්නකො" ඔය විදියට මම කලේ හැම දාම පොල්ගාපු එක.ඒකාලෙ පොල් ගාන්න් විතරක් දැනගන හිටිය මම දැන් බොහොම හොඳට උයන්න පුළුවන් (අවම වශයෙන් අනිත් අයට කන්න පුළුවන් තත්වෙට උයන) කෝකියෙක්. වැඩේ කියන්නෙ මෙහෙ පොල් නෑ,තියෙන්නෙ පොල් කිරි ටින්!
මගේ ඉවීමේ රහසනම් ඉතින් ඔය ලිවීමට සම්බඳයි. ඒ කිව්වෙ මම උයන්න ඉගනගත්තෙ සූප ශාස්ත්‍ර පොත් වලින්.ඊට අමතරව අන්තර් ජාලයට පින්සිද්ධවෙන්න තමා.
2009 වර්ෂයේ තිරගත්වූ "ජූලි ඇන්ඩ් ජූලියා" ඉවීම කරමින් ලිවීම කරන බ්ලොග් කාරිණියක්ගේ කතාවක්. ඒ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්න්නෙ ජූලි පොවෙල්ගේ Julie & Julia: 365 Days, 524 Recipes, 1 Tiny Apartment Kitchen පොත හා ජූලියා චයිල්ඩ්ගේ My Life in France කියන පොත.
ජූලියා චයිල්ඩ්ට කලක් ප්‍රංශයේ ජීවත වන්න සිද්දවෙනවා,ඈ එහෙදී ප්‍රංශ අහාර පිලියෙල කරන හැටි ඉගන ගන්නවා.ප්‍රංශ කෑම වට්ටෝරු පොත් බොහොමයක් ලියවී තියෙන්නේ ප්‍රංශ භාෂාවෙන් ඉතින් ඇමරිකානු කාන්තාවන් සඳහා ජූලියා චයිල්ඩ් 1961දී Mastering the Art of French Cooking නමින් පොතක් ලියා පලකර තිබෙනවා. මේ පොත ඇමරිකාවේ බොහොම ජනප්‍රිය වුනා . මේ පොත නිසා ජූලියාත් ප්‍රසිද්ධ කාන්තාවක් උනා.ඈ ජීවත් වූ ගෙදර අද කෞතුකාගාරයක්. ඉන් කලකට පසු ජූලි පොවෙල් තමාගේ රැකියාවේ ආතතියෙන් මිදෙන්න මේ පොත උදව්කරගන්නවා. ඈ මේ පොතේ තිබෙන කෑම වට්ටොරු 524 දින 365 කින් අත්හදා බලන්න තීරණය කරනවා. ඉතින් ඈ ඒ අහාර අත්හදා බැලීම ගැන කියන්න බ්ලොග් සටහනක් ලිවීමට පටන්ගන්නවා. ඒ වගේම ඇගේ බ්ලොගයට බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ බ්ලොග් සටහන් තමා Julie & Julia: 365 Days, 524 Recipes, 1 Tiny Apartment Kitchen නමින් පොතක් ලෙස පලකර තිබෙන්නේ. මේ සත්‍ය කතාව පදනම් කරගෙන නිපදවූ චිත්‍ර පටය තමා ජූලි ඇන්ඩ් ජූලියා. බොහොම රසවත් චිත්‍රපටයක් නරඹලා නැත්නම් ඉඩක් ලදවිට බලන්න. අපි වගේම බ්ලොග් ලියූ අද වනවිට ප්‍රසිද්ධ ලේඛිකාවක් බවට පත්වීසිටින ජූලි පොවෙල් ගැන අපටත් සතුටුවිය හැකියි.
Thursday, October 6, 2011
හැලොවීන්!!!!!!
ඔක්තෝබර් 30 වෙනිදාට ලෝකයේ බොහෝමයක් රටවලට උත්සවාකාර දිනයක්. ඒ උත්සව පැවැත්වෙන්නේ ලංකාවෙ අපිට නුපුරුදු "හැලොවීන් " වෙනුවෙනුයි.
උත්සවය ඇමරිකාව ,කැනඩාව , බ්‍රිතාන්‍යය ,අයර්ලන්තය ඇතුළු බොහොමයක් රටවල මේ උත්සවය පැවැත්වෙනවා. සමහර රටවල මේ උත්සවය හඳුන්වන්නේ වෙනත් නම් වලින්. ඒ වගේම මේ උත්සවය සමරන විදියත් රටින් රටට වෙනස්. මේ උත්සවය ඇතිවෙලා තියෙන්නෙ මළවුන් පිදීම ,නපුරු ආත්මයන් පලවාහරින්න වගේ මිත්‍යා විශ්වාස පදනම් කරගන. අද වෙනකොට අනිත් කොයි දේත් වගේ හැලොවීනුත් වානිජකරණයවෙලා.දැන් එක එක ඇඳුම් අදින එකයි රස කැවිලි පොඩි දරුවන්ට බෙදන එකයි තමා ඒ දවසට සිද්ධ වෙන්නෙ.
ඇමරිකානුවන් හැලොවීන් උත්සවය බොහොම සාරෙට සමරන පිරිසක්. හැලොවීන් දවසෙ රෑට පුංචි ළමයි විවිධ වේශයන්ගේ ඇඳුම් පැළඳුම් ඇඳගෙන කණ්ඩායම් විධියට ගෙයින් ගෙට යනවා, එහෙම ගිහින් දොරට තට්‍ටුකරල "ට්‍රික් ඔර් ට්‍රීට්" කියනව. එතකොට ගෙවල් වල ඉන්න අය මේ පුංචි අයට ටොෆී, චොකලට් වගේ පැණි රස කෑම ඒගොල්ලන්ට් දෙනව.ගොඩක් පොඩි ළමයි මේ කැවිලි එකතුකරගන්න මල්ලකුත් අරගන යනවා.ගොඩක් වෙලාවට ඒක වට්ටක්කා හැඩයේ බාල්දියක්. මේ කාලෙට ඕනම සුපර් මාකට් එකකින් ඔය කියන බාල්දි ගන්න පුළුවන්.මායා කාරියන් වැම්පයර්ල වගේ භීතිය ගෙනෙනෙ ඇඳුම් වලින් තමා ගොඩදෙනෙක් සැරසෙන්නේ මේ උත්සවයේ තව අංගයක් තමා වට්ටක්කා ගෙඩි අරගන ඇවිත් ඒවයේ මැද හාරලා අයින් කරල ,පැත්තක ඇස් හා කටක් ලෙසට වට්ටක්කා ගෙඩියේ කැටයම් කපල මැද ඉටි පන්දමකුත් පත්තුකරල දොරලඟ තියන එක.මේ වට්ටක්කා අපි කෑමට ගන්න ඒව වගේ නෙමෙයි බොහොම ලොකු වට්ටක්කා ගෙඩි. හැලොවින් රාත්‍රියේදී සියළුම අශුද්ධ ආත්මයන් පොළවට පැමිණෙන බවට අතීතයේ විශ්වාස කළා මේ වට්ටක්කා පහන හෙවත් ජැක්-ඕ-ලැන්ටන් දොරකඩ තියන්නෙ අශුද්ධ ආත්ම පලවා හරින්නයි' ඒ හා බැඳුනු ජන කතාත් බොහොමයි. මේ වට්ටක්කා පහනට අමතරව ගෙවල් එක එක බයහිතෙන දේවල් වලින් සරසන එකත් මෙයාල කරනව.
අතීතයේ කොහොම උනත් අද වෙනකොටනම් මේකත් වැලන්ටයින් වලට දෙවනි නෑ. කඩ සාප්පු පුරවලා හැලොවින් තොරොම්බල්, හැමතැනම එක එක බය හිතෙන රූප . ගෙවල් ඉස්සරහ බය හිතෙන විදියෙ පඹයො එල්ලලා. ජාති ජාති ඇඳුම් විකුණන්න තියනව. ළමයින්ට වගේම ලොකු ඈයන්ටත් මේ ඇඳුම් අඳින්න තහනමක් නෑ. වැලන්ටයින් පාටි වගේ හැලොවීන් පාටිත් තියනව, ඇඳගනනම් යන්න ඕන ඔය පාටි වලට ඉතින් ඔය එක එක චරිත නිරූපණය කරන ඇඳුම් තමා. ඔක්කොම එක එක ඇඳුම් ඇඳගන ඉන්නකොට හරියට පෙර පාසල් විකට ඇඳුම් තරඟයක් වගේ....
රට රටවලට විශේෂ වූ සම්ප්‍රදායන් හා සංස්කෘතීන් පවතිනව. ඒ වගේම ඒවාට අයත් එක් එක් වත් පිලිවෙලවල් හා ක්‍රියාකාරකම් පවතිනව. හැලොවීන් උත්සවයත් එවැනි එක් ක්‍රියාකාරකමක්. තමාගේ ප්‍රියතම චරිතයක ඇදුමකින් හැඬ වෙන්න ලැබෙන නිසාත් ඕන තරම් රස කැවිලි කෑමට ලැබෙන නිසාත් පුංචි ළමයි මේ උත්සවයල ප්‍රියයි. ඒකාකාරී දිවි පෙවෙතින් මඳ විරාමයක් ලැබෙන නිසාත් අසල් වැසි නෑ හිත මිතුරන් හා විනෝදවීමට ඉඩක් ලැබෙන නිසාත් ලොකු ඇත්තො හැලොවීන් වලට ප්‍රියයි. වෙනස් පරිසරයක අළුත් අත්දැකීම් වලට කැමති නිසා මාත් හැලොවීන් වලට ප්‍රියයි...
ඔබ සැමට සුභ හැලොවීන් එකක් වේවා !!!!!
Subscribe to:
Posts (Atom)




