Friday, January 18, 2013
අතීතයේ කතාවක් !
මීට අවුරුදු 25 කට 30 කට කලින් හරියටම කියනවනම් 1983 ජූලි 23 දා ශ්‍රී ලංකාවේ ඇතිවුන යුධවාතාවවරණය අපි කාටත් අමතක නෑ. මම ඉපදෙනකොටත් යුද්ධය ආරම්භවෙලා. ඒ කාලෙ අපි හීන දැක්ක යුද්ධයක් නැති සුරක්ෂිත ශ්‍රීලංකාවක් (යුද්ධයෙන් පසුවත් අපිට තවමත් සුරක්ෂිත බව හීනයක්). මම ඒ කාලෙ හිතුවෙ අපිට කවදහරි මේ යුද්ධයේ අවසානයක් දකින නොලැබෙයි කියල. ඒත් ඒ කාලකන්නි යුද්ධය අද ලංකාවෙ නෑ. හමුදාවෙ ඉන්න පුතා ගැන ගින්දර පත්තුවෙවී ඉන්න අම්මලට ,තම සැමියා ගැන සුසුම් හෙලන බිරින්දෑවරුන්ට දැන් හදවතින් හිනාවෙන්න පුළුවන් ඒ 2009 අවුරුද්දෙ යුද්ධයට නැවතීමේ තිත තිබ්බ නිසා.(යුද්ධය ජයග්‍රහණය කළා කියල නොකිව්වෙ ඇත්තටම අන්තිමේදි අපි දිනලද කියල හිතෙන නිසයි.) යුධ අවසාන වෙද්දි මම මේ රටට ඇවිත් මාස පහක් විතර ගෙවුනා විතරයි. ඔය ගැන ඔච්චරක් ඇති ඔය මාතෘකාව දැන් හොඳටම විකුනගනකාල වෙළදභාණ්ඩයකටත් වඩා පහතට දාල ඉවරයිනෙ, මම මේ විදියෙ ආරම්භයක් ගත්තෙ මීට අවුරුදු විස්සකට කලින් වුන සිද්ධියක් ගැන කියන්නයි.
මගේ ලොකුතාත්ත ඒ කියන්නෙ අම්මගේ තාත්තා හිටපු හමුදාවෙ, ඉන්ජිනේරුරෙජිමේන්තුවේ නිලදාරියෙක් (මට රැන්ක් එකනම් මතක නෑ). මම උපදිද්දි එයා විශාම අරගනයි හිටියෙ. ලොකුතාත්තා හමුදාවට බැඳිලා තිබුනෙ 40 ගනන්වල. විශ්‍රාම අරගන ටිකකාලෙකට පස්සෙ, යුද්ධය ආරම්භවූ පසු ආයෙත් ඔහුට කැඳවීමක් ලැබුන හමුදාවට බැදෙන තරුණයන් පුහුණු කරන්න. ලොකු තාත්තා හමුදාවට බැඳුනු කාලෙ යුද්ධයක් ඇතිවෙන්න ලකුණක්වත් තිබුනෙ නෑලු. ඒකාලෙ පරීක්ශණ ගොඩකටත් පෙනී ඉන්න ඕනලු හමුදාවට බැදෙන්න. කොහොමහරි එයා මුළු හමුදා දිවියටම ක්‍රියාකාරී යුද්ධයට මුහුණ දුන්නෙ නෑ. මගේ අම්මාගේ බාල සහෝදරියන් දෙදෙනාගෙන් වැඩිමලා, සුදු පුංචි විවාහ වුන බාප්ප හමුදාවෙ. ඔන්න ඔය විදියටයි අපේ පවුලට දෙවනි හමුදා සාමාජිකයා පැමිණෙන්නෙ. 1993 ඔහු ක්‍රියාන්විත සේවයේ හිටියෙ පූනරීන් වල. පූනරීන් සටන සිදුවන විටත් ඔහු එහි මේජර් වරයකු විදියට හිටිය.
අම්මෝ එහෙමත් කාලයක්!! ඔය කාලෙ මට අවුරුදු 8යි ඒත් මට හොඳට මතකයි අපේ ගෙදර තිබුන තත්වය. පුංචි විවාහ වෙලා අවුරුදු දෙකකට කිට්‍ටුයි, බබා ලැබිල මාස කීපයයි. 1993 නොවැම්බර් මාසයේ ඇතිඋන මේ සටන රේඩියෝ ටීවී පත්තරවල හෝ ගාල යනව. ඒත් අපේ පුංචිට මේ ගැන දැනගන්න කවුරුත් ඉඩ තිබ්බෙ නෑ. (දින වකවානු භරියට බලන්න ගූගල් විමසනකොට මට ලැබුනු තොරතුරු දකිද්දි මට හිතාගන්නත් බැරි උනා කී දෙනෙක් මැරිලද! කීදෙනෙක් අදටත් අතුරුදහන්ද!) හැමදාම 8ට නිව්ස් අහන අපේ ලොකුතාත්ත ඒක නවත්තපුවම පුංචි අහනව "ඇයි තාත්තෙ නිව්ස් අහන්නෙ නැද්ද? " කියල එතකොට ලොකුතාත්ත බොරුවක් කියනව "නිදාගන්න ඕන" වගේ. පත්තර ගේන්න යවපුවම ආපහු හිස් අතින් එනව පත්තර ඉවරයි කියල.
ඒ වෙනකොටත් බාප්ප ගැන ආරංචියක් නෑ. විසි තිස් ගණන් නම් කියනව මිය ගිය අයගෙ. අපේ ගෙදර අය, නෑදෑයො, යාළුවො එහෙ මෙහේ දුවනව කරගන්න දෙයක් නැතුව. ඔහොම ඉද්දි සති ගාණකට පස්සෙ ආරංචියක් ආව බාප්පත් එක්ක කණ්ඩායමක් කැළේදි හමු වුනා කියල. එයාට ඉතුරුවෙලා තිබුනෙ ඇඳිවත විතරයි. සති ගානක් කැළේ මඩ ගොහොරුවල වතුර බිබී ජීවත් වෙලා තියෙන්නෙ.සමහරුන්ට වෙඩි වැදිල. කොහොමහරි බාප්ප අනතුරක් නැතුව ආව. එයා ආවයිනුත් පස්සෙ තමා පුංචි විස්තර දැනගත්තෙ. ඔන්න ඔහොම බාප්ප ජීවිතේ බේරගන ආව කියමොකො ඔන්න ඒ සතියෙ ඉරිද පත්තරවල මේ බේරී ආපු කණ්ඩායමේ අයගෙ එක එක සම්මුඛ සාකච්චා, ඔන්න ඒ වගෙ තියනව
"අපි සටන අතහැරියෙ නෑ. අපේ මේජර් X X XXXXX කිව්වෙ අපි සටන් කරමු ඒත් යටත් වෙන්නෙ නෑ, කොටින්ට අපි අහු උනොත් එයාටත් වෙඩිතියන්න කියලයි." වගේ ඒව . හප්පොච්චියේ ඔන්න එයින් පස්සෙ අපේ ගෙදරක තිබ්බ යුද්දෙ..පූනරීන් යුද්දෙටත් හපන්. "හහ්!! ඔය තියෙන්නෙ නමත් එක්ක! ඔයාට ඕව කියනකොට මාවයි දරුවවයි මතක නැද්ද" " කොහොම හරි ජීවිතෙ බේරගන්නව නෙමෙයි මහ ලොකුවට කියවනව" ඒ අපේ පුංචි. සතියක් විතරම බාප්ප කනේ පුළුන් ගහගන හිටියෙ. ඉන් අවුරුදු ගානකට පස්සෙ රිවිරැස මෙහෙයුම්වලටත් සම්භන්ද වුනා බාප්ප. එයින් පස්සෙ විශේෂ අවසර මත විශ්‍රාම ගත්ත.
ඉතින් ඇත්තටම මේක නෙවේ මම මේ කියන්න ආවෙ මේක මේ අතුරු කතාවක්.
පූනරීන් සටනට පෙර ක්‍රියාන්විත ප්‍රදේශවල කඳවුරුවලට අත්‍යාවශ්‍ය ද්‍රව්‍යය අඩංගු පාර්සල් (care packages) යැවීමට අපේ පාසලෙන් තීරණය කළා. ඉතින් මාත් ඒකට ටූත් පේස්ට්,සබන් තුවා ඇතුළු පාර්සලයක් සූදානම් කළා. අපේ ගෙදර කවුරු හරි ඒ වෙලේ විහිලුවට කිව්ව ඔයා ඔය බාප්පටද යවන්නෙ? නම ලියලම යවන්න කියල. පොඩි උන්ට තේරනවද ඕව. කියල කටගන්න හම්බ උනේ නෑ මම අර කවරවල ලිව්ව XXXXට දෙන්න , රෝස කුමාරි දුවගෙන් බාප්පාට කියල. පාර්සලේ ඉස්කෝලෙට ගෙනියන්න කලින් අම්ම දැකල ඒ විදියට ලියපු ඒව. එයා මට බැන බැන ඒව අයින් කරල අලුත් ඒව දැම්ම. ඊට සති කීපකට පස්සෙ පුංචිට කතාකරපු බාප්ප කියල බලන්නකො මාර වැඩක් උනානෙ මෙහෙට ඉස්කෝලෙකින් ආව පාර්සලයක තිබුණු ටූත් පේස්ට් කවරෙක තියනව රෝස කුමාරි බාප්පට දෙන කියල ලියපු එකක්. මොකක්ද ඒ කියල.අම්ම අයින් කලාට කොහොමහරි මම ලියපු එකක් එහෙට ගිහින් ඒ බඩු යැව්වෙ ඒ කඳවුරට විතරක් නෙමේ රට වටේ කඳවුරුවලට ඒව බෙදල තිබුන. කොහොම හරි අහම්බෙන් මගේ පාර්සලය බාප්ප ඉන්න කඳවුරේ කෙනෙක්ට ලැබිල ඒකෙ ටූත් පේස්ට් කවරෙ නම දැකල ඒ කෙනා බාප්පට පෙන්නල. මගේ නමත් තියන නිසා බාප්ප අදුනගන. මම එතකොට තුනේ පන්තියෙ බෝල ලොකු අකුරෙන් ලියල තිබුනෙ. බාප්ප නිවාඩුවට එද්දි ඒ කවරය අරන් එන්න තියන් හිටියත් ඊට කලින් පූනරින් සටන ඇවිත් ඒ කවරයත් ඊට වඩා ගොඩාක් වටින ජීවිත දහස් ගානකුත් විනාශ කළා.
Subscribe to:
Post Comments (Atom)
83 ජුලි 23 මට කවදාවත්ම අමතක නෑ. එදා අපේ විභාගේ දවසක්. වාර විභාග. මරදාන දුම්රිය පොලේ ඉදන් පුංචිබොරුල්ලටම යනකං එකම ගිනි ජාලාවක්..මේ ගිනි අස්සේ අපි ඉස්කෝලෙට ගියා.මේ විනාශය හැබැහින්ම දැක්ක කෙනෙක් මං.මෙහේ දෙමළ මිනිස්සු මැරෙන හැටි මං දැක්ක.
ReplyDeleteඊට අවුරුද්දකට පස්සේ මගේ තාත්ත චාවකච්චේරියෙදි දෙමළ කොටින්ට බිලි වුණා.
අහල තිබුනට මම ඉපදිලා නෑ ඒ කාලෙ. ආයෙත් නම් කවදාවත් අපේ පුංචි රටේ ඒ වගේ වියසනයක් ඇති නොවේවා!!!
Deleteහමුදාවේ හිටපු අයගේ විතරක් නෙවෙයි අප්පා අපේ වගේ තාත්තලා කොළඹ වැඩ කරපු අයත් පුදුම බයකින් තමයි හිටියේ.. උදේට ගෙදරින් ගියාම හවස ගෙදර එනකම් අගේ ලේ නැතුව හිටියා කියලා අම්මා කියන්නේ.. යුද්ධේ අන්තිම කාලෙදි තාත්තයි මායි දෙන්නම හැමදාම කොළඹ යන නිසා අම්මගේ බය දෙගුන වෙලා හිටියලු... එක පාරක් බෝම්බෙකින් යන්තම් බේරුනා... දෙපාරක් වෙන කෙනෙක්ට වෙඩි තියලා පැනලා යන කොටින්ට මැදි උනා.. ඕව මතක් වෙනකොට ඇඟ හිරිවැටෙනවා...
ReplyDeleteඒකනම් ඇත්ත හිරු. උදේ ගියාම ආපහු ගෙදරට පය තියනකන් ජීවිතේ ෂුවර් නැති කාලයක්නෙ ඒ..
ReplyDeleteඇත්තටම මුලින් අගය කරමි ඔබව.ඔයා ගේ සටහන දැක්කම මටත් පුංචියට හෝ යමක් ලිවිමට සිතුණි.ඔය පාර්සල් මම සේවය කරපු කැම්ප් එකටත් අවා.මම ඒ කාලයේ තෝප්පූර් වල තමයි රාජකාරි කලේ.වතුර බෝතල් තිබු බෑගයක පුංචි නංගියක් ලියලා තිබුණා මෙන්න මෙහෙම සුදු අයියේ සුදු අක්කේ ඉක්මනට මේ ගින්දර නිවන්න කියලා.
ReplyDeleteඒ කොළ තාමත් මම ලඟ තියෙනවා.
ස්තූතියි.ඔයා යුඩ් ත්‍රිවිද හමුදාවෙ කෙනෙක් වෙන්න ඕනෙ. අපි හැමෝගෙම ඒ කාලෙ පැතුම රටේ ගිනි නිවෙන එකනෙ. මට මතකයි අපිට එක වරමක් හම්බෞනොත් මොනාද ඉල්ලන්නෙ කියල පාසලේ අහපුවම අපි ගොඩ දෙනෙක් ඉල්ලුවෙ"සාමය".
Deleteඔය කියන බාප්පා සිංහ රෙජිමේන්තුවේ හෝ ගජබා රෙජිමේන්තුවෙනම් මම බොහොම හොඳින් දන්නා කියන කෙනෙක් විය යුතුයි.
ReplyDeleteයුද්ධයේ මෙවැනි කතා දහස් ගණනක් තිබුණත් මේ ඒවා කියන්නට කාලය හෝ ස්ථානය නොවෙයි.
අසමි දකිමි සොයමි ලියන විචාරක
මට හරියටම මතක නෑ රෙජිමේන්තුව නම්. හ්ම් යුද්ධයේ කොතරම කතා අපි අපිතුලම තියන් ඉන්නවද.. සමහර දේ කතා කරනවට වඩා අමතක කර දැමීම තමා හොඳ.
Deleteමේ දේවල් ගැන කතා කල යුතුයි දැන් , මොකද
ReplyDeleteනැවතත් එවැන්නක් වලක්වා ලීමට නම් එහි ඇති
බරපතල තත්වය වටහා දිය යුතුයි...
අනිවාර්යෙන්ම! තවත් යුද්ධයකට මේ රට අරගන යන්න ඉඩක් නොතියනවන්ම් තමයි හොඳ. ලංකාවෙ අපිට හරි ඉක්මනින් අමතක වෙනවනෙ. මේ දේවල් ආයෙත් මතක් කරන එක හොඳයි කියල මාත් හිතනව..
Delete//..ලොකු තාත්තා හමුදාවට බැඳුනු කාලෙ යුද්ධයක් ඇතිවෙන්න ලකුණක්වත් තිබුනෙ නෑලු. ඒකාලෙ පරීක්ශණ ගොඩකටත් පෙනී ඉන්න ඕනලු ...//
ReplyDeleteඒ කාලේ හමුදාවට ගන්න කලින් පවුල් පසුබිම බලන්න පරම්පරා 4 ක්ද කොහෙදෝ ආපස්සට බලනවලු නේද ?
තේරෙන්න ගොඩක් අමාරුයි කියල තමා දන්නෙ. මම හරියටම දන්නෙ නෑ පවුල් පසුබිම බැළුවද කියල. අහල බලන්න ඕනෙ ඒ ගැන ලොකු තාත්තගෙන්
Deleteවටින කතාවක් යාළුවා
ReplyDeleteස්තූතියි :)
Deleteඒ කාල කන්නි යුද්ධේ ඉතින් දැන් ඉවරනේ. ඒත් ආයෙමත් යුද්ධයකට අතපොවන්න ඉඩ තියන්න හොඳ නෑ
ReplyDeleteඅනිවාර්යෙන්ම! ආයෙත්නම් එපා!
Deleteයුද්ධය තවමත් ඉවර නැ. ආයුධ යුද්ධය තාවකාලිකව ඉවර උනත් මතවාදී යුද්ධය ජයටම යනවා. මෙහි පරමාර්ථය වන්නේ ආයුධ යුද්ධයට දායකත්වය සැපයු මුලාශ්‍ර විනාශ කිරීම. යුද්ධය ජය ගැනීමට සෙබළුන් සැපයු ප්‍රධාන මුලාශ්‍රය උනේ සිංහල බෞද්ධයන්. කාට හරි මේ ගැන සැකයක් ඇත්නම් යුද්ධයෙන් දිවි පිදු සහ තවමත් ආබාධිත වෙලා ඉන්න යුද භටයන්ගේ නම් ලැයිස්තු පරික්ෂා කිරීමෙන් එය නැති කර ගන්න පුළුවන්. (අඩු වැඩි වශයෙන් සිංහල අබෞද්ධයන්, දෙමල සහ මුස්ලිම් ජාතිකයන් යුද භටයන් ලෙස යුද්ධයට දායකත්වය දුන්නේ දෑතේ සහ දෙපයේ ඇඟිලි ගනනට වඩා අඩුවෙන්.) එබැවින් මේ මතවාදී යුද්ධ භටයන් අද කරන්නේ සිංහල කමට, සිංහල බෞද්ධයන්ට, භික්ෂුන් වහන්සේලාට පහරදී එම මුලාශ්‍රය විනාශ කිරීමයි. ඒකට පාවිච්චි කරන එක මාවතක් තමා internet එක. එහි කෙරවල නැවතත් ආයුධ යුද්ධයක් තමයි. ඒකට අකමැති නම් කෙසේ හෝ මේ මතවාදී යුද්ධයත් පරද්දන්න ඕනැ.
ReplyDeleteසමරසේකර
මේ කතාවෙ දෙපැත්තක් තියනවනේද සමරසේකර මහත්මයා. ඉන්ටනෙට් එකේ සිංහල බෞද්ධයන්ට වගේම අනිත් ජාති ආගම් අයටත් අපහාස වෙන කොතරම් දේ යනවද. මේ දවස්වල යන මුස්ලිම් විරෝධී ෆේස් බුක් කණ්ඩායම් ඒකට හොඳ උදාහරනයක්. යුධ භටයන් ගැන කතාවෙදිත් ලංකාවෙ 75% පමණ සිංහල බෞද්ධයො,ඉතින් ඒ අය හමුදාව තුලත් ඒ ප්‍රතිශතය දකින්න පුළුවන් වීම පුදුමයක් නෙමේ. යුද්ධයෙන් මිය ගිය දමිල බුද්ධි අංශ නිලධාරීන් කොපණද. පහුගිය යුද්ධය ජනවාර්ගික අර්බුදයක් කියල මම හදුන්වන්න අකමැති ඔය නිසා. මම හිතනව පටු රාමුවෙන් බලනවට වඩා පුළුල් මනසකින් මේ දෙස බැලිය යුතුයි. මූලාශ්‍ර විනාශකල යුතුයි.මම එකඟයි. නමුත් ඔබ කියන අයුරි අන්තර්ජාලය බාවිතාකරමින් තවත් යුද්ධයකට මග පාදමින් නම් නෙමෙයි.
Delete// "හහ්!! ඔය තියෙන්නෙ නමත් එක්ක! ඔයාට ඕව කියනකොට මාවයි දරුවවයි මතක නැද්ද" " // මම බැලුවෙ ඉතින් කොච්චර සටන් දිනල ආපු විරයෙක් උනත් ඉතින් ගෙදර ආවම අන්තිමට පුස් පැටියෙක් වගේ ඉන්න වෙන හැටි! :D
ReplyDeleteඅන්න ඔයාට තේරුනා.:) මුහුදුලාටත් හොන්ද පාඩම් හී හී. කොච්චර යුද්ද දිනුවත් ඉතින් ගෙදර යුද්දෙනම් දිනන්නෙ නෝනම තමා.:)
Deleteයුද්ධේ ඉවර වෙනකොට මමනම් ලංකාවේ. ඊට මාස කීපෙකට පස්සේ තමයි අපි එහෙං ආවේ. ඒ දවසේ ලංකාවේ ඉන්න ලැබුණ එක ලොකු සතුටක් :) අන්තිමට වෙච්ච සිද්ධියනම් හරිම පුදුම වැඩක්...
ReplyDeleteඒක නෙමෙයි ඔයා ලොකු තාත්තා කියන්නේ සීයටද? කතාව මැද හරියෙදි පොඩ්ඩක් පැටලුනා.
අන්තිම දවස් ටිකේ පුදුම දේවල් ගොඩක්නෙ උනේ. ලංකාවෙ ඉන්න බැරි උන ඒක ඒ වෙලාවෙ හරියට හිතට දුකයි.
Deleteඔව්නෙ සයුරි අපි සීයට ආච්චිට කියන්නෙ ලොකුඅම්ම ලොකුතාත්ත කියලනෙ. ඒ අපේ පැත්තට පොදු එකක්. හැමෝටම පැටලෙනව. අපි අම්මගෙ අක්කට කියන්නෙ මහම්ම කියල. ඒවගේම තාත්තගෙ අයියට මහප්ප. දැන් තේරුනාද ළමයට :)
ආයේ නම් එහෙම දේවල් වෙන්න එපා කියල තමයි අපේ පැතුම . 83 මන් ප්‍රයිමරි ඉස්කෝලේ . කැලණියේ . අපිට ලොකු ටීචර් කිව්වා රස්තියාදු නොවී ගෙදර යන්න කියල . පස්සේ ගෙදර ගියහම ආරංචි වුනා කලබල කියල . මරදානේ වැඩ කල තාත්ත පයින්ම ගෙදර ඇවිත් .කලිසන් කකුල් වල තිබ්බ පරිප්පු ගසල දැම්ම මතකයි. හැමෝම එක එක දේවල් උස්සන් ඇවිත් . අපේ තාත්ත ඇත දෙක වන වන ආවා . කිසිම දෙකට ආසා නොවුන අල්පේච්ච ගති තිබ්බ නිසා පයේ හැපුනත් අනුන්ගේ රත්තරන් වත් එපා කියපු කෙනෙක් .
ReplyDeleteඅපිත් යුද්ධය හොඳ හැටි වින්ද . අක්කගේ මහත්තයා නාවික හමුදාවේ . අපි උන්න ගින්නක් .කියල වැඩක් නැහැ .
ඒ ගින්නෙ පිච්චුනු හැමෝගෙම ප්‍රාර්ථනය ආයෙනම් ඒ වගේ දෙයක් එපා කියල තමා. 83 වෙච්ච දේවල් දැනගන්නෙ අක්කල වගේ ඒ අත් දැකීම ලබපු අයගෙ කතාවලින් තමා.
ReplyDelete