Friday, January 18, 2013

අතීතයේ කතාවක් !

                 
           මීට අවුරුදු 25 කට 30 කට කලින් හරියටම කියනවනම් 1983 ජූලි 23 දා ශ්‍රී ලංකාවේ ඇතිවුන යුධවාතාවවරණය අපි කාටත් අමතක නෑ. මම ඉපදෙනකොටත් යුද්ධය ආරම්භවෙලා. ඒ කාලෙ අපි හීන දැක්ක යුද්ධයක් නැති සුරක්ෂිත ශ්‍රීලංකාවක් (යුද්ධයෙන් පසුවත් අපිට තවමත් සුරක්ෂිත බව හීනයක්). මම ඒ කාලෙ හිතුවෙ අපිට කවදහරි මේ යුද්ධයේ අවසානයක් දකින නොලැබෙයි කියල. ඒත් ඒ කාලකන්නි යුද්ධය අද ලංකාවෙ නෑ. හමුදාවෙ ඉන්න පුතා ගැන ගින්දර පත්තුවෙවී ඉන්න අම්මලට ,තම සැමියා ගැන සුසුම් හෙලන බිරින්දෑවරුන්ට දැන් හදවතින් හිනාවෙන්න පුළුවන් ඒ 2009 අවුරුද්දෙ යුද්ධයට නැවතීමේ තිත තිබ්බ නිසා.(යුද්ධය ජයග්‍රහණය කළා කියල නොකිව්වෙ ඇත්තටම අන්තිමේදි අපි දිනලද කියල හිතෙන නිසයි.) යුධ අවසාන වෙද්දි මම මේ රටට ඇවිත් මාස පහක් විතර ගෙවුනා විතරයි. ඔය ගැන ඔච්චරක් ඇති ඔය මාතෘකාව දැන් හොඳටම විකුනගනකාල වෙළදභාණ්ඩයකටත් වඩා පහතට දාල ඉවරයිනෙ, මම මේ විදියෙ ආරම්භයක් ගත්තෙ මීට අවුරුදු විස්සකට කලින් වුන සිද්ධියක් ගැන කියන්නයි.

                       මගේ ලොකුතාත්ත ඒ කියන්නෙ අම්මගේ තාත්තා හිටපු හමුදාවෙ, ඉන්ජිනේරුරෙජිමේන්තුවේ නිලදාරියෙක් (මට ‍රැන්ක් එකනම් මතක නෑ). මම උපදිද්දි එයා විශාම අරගනයි හිටියෙ. ලොකුතාත්තා හමුදාවට බැඳිලා තිබුනෙ 40 ගනන්වල. විශ්‍රාම අරගන ටිකකාලෙකට පස්සෙ, යුද්ධය ආරම්භවූ පසු ආයෙත් ඔහුට කැඳවීමක් ලැබුන හමුදාවට බැදෙන තරුණයන් පුහුණු කරන්න. ලොකු තාත්තා හමුදාවට බැඳුනු කාලෙ යුද්ධයක් ඇතිවෙන්න ලකුණක්වත් තිබුනෙ නෑලු. ඒකාලෙ පරීක්ශණ ගොඩකටත් පෙනී ඉන්න ඕනලු  හමුදාවට බැදෙන්න. කොහොමහරි එයා මුළු හමුදා දිවියටම ක්‍රියාකාරී යුද්ධයට මුහුණ දුන්නෙ නෑ. මගේ අම්මාගේ බාල සහෝදරියන් දෙදෙනාගෙන් වැඩිමලා, සුදු පුංචි  විවාහ වුන බාප්ප හමුදාවෙ. ඔන්න ඔය විදියටයි අපේ පවුලට දෙවනි හමුදා සාමාජිකයා පැමිණෙන්නෙ. 1993 ඔහු ක්‍රියාන්විත සේවයේ හිටියෙ පූනරීන් වල. පූනරීන් සටන සිදුවන විටත් ඔහු එහි මේජර් වරයකු විදියට හිටිය.
                  
                        අම්මෝ එහෙමත් කාලයක්!!  ඔය කාලෙ මට අවුරුදු 8යි ඒත්  මට හොඳට මතකයි අපේ ගෙදර තිබුන තත්වය.  පුංචි විවාහ වෙලා අවුරුදු දෙකකට කිට්‍ටුයි, බබා ලැබිල මාස කීපයයි. 1993 නොවැම්බර්  මාසයේ ඇතිඋන මේ සටන රේඩියෝ ටීවී පත්තරවල හෝ ගාල යනව. ඒත් අපේ පුංචිට මේ ගැන දැනගන්න කවුරුත් ඉඩ තිබ්බෙ නෑ. (දින වකවානු භරියට බලන්න ගූගල් විමසනකොට මට ලැබුනු තොරතුරු දකිද්දි මට හිතාගන්නත් බැරි උනා කී දෙනෙක් මැරිලද! කීදෙනෙක් අදටත් අතුරුදහන්ද!)  හැමදාම 8ට නිව්ස් අහන අපේ ලොකුතාත්ත ඒක නවත්තපුවම පුංචි අහනව "ඇයි තාත්තෙ නිව්ස් අහන්නෙ නැද්ද? " කියල එතකොට ලොකුතාත්ත බොරුවක් කියනව "නිදාගන්න ඕන" වගේ. පත්තර ගේන්න යවපුවම ආපහු හිස් අතින් එනව පත්තර ඉවරයි කියල.

                      ඒ වෙනකොටත් බාප්ප ගැන ආරංචියක් නෑ. විසි තිස් ගණන් නම් කියනව මිය ගිය අයගෙ. අපේ ගෙදර අය, නෑදෑයො, යාළුවො  එහෙ මෙහේ දුවනව කරගන්න දෙයක් නැතුව. ඔහොම ඉද්දි සති ගාණකට පස්සෙ ආරංචියක් ආව බාප්පත් එක්ක කණ්ඩායමක් කැළේදි හමු වුනා කියල. එයාට ඉතුරුවෙලා තිබුනෙ ඇඳිවත විතරයි. සති ගානක් කැළේ මඩ ගොහොරුවල වතුර බිබී ජීවත් වෙලා තියෙන්නෙ.සමහරුන්ට වෙඩි වැදිල. කොහොමහරි  බාප්ප අනතුරක් නැතුව ආව. එයා ආවයිනුත් පස්සෙ තමා පුංචි විස්තර දැනගත්තෙ. ඔන්න ඔහොම බාප්ප ජීවිතේ බේරගන ආව කියමොකො ඔන්න ඒ සතියෙ ඉරිද පත්තරවල මේ බේරී ආපු කණ්ඩායමේ අයගෙ එක එක සම්මුඛ සාකච්චා, ඔන්න ඒ වගෙ තියනව
"අපි සටන අතහැරියෙ නෑ. අපේ මේජර් X X  XXXXX   කිව්වෙ අපි සටන් කරමු ඒත් යටත් වෙන්නෙ නෑ, කොටින්ට අපි අහු උනොත් එයාටත් වෙඩිතියන්න කියලයි."  වගේ ඒව . හප්පොච්චියේ ඔන්න එයින් පස්සෙ අපේ ගෙදරක තිබ්බ යුද්දෙ..පූනරීන් යුද්දෙටත් හපන්. "හහ්!! ඔය තියෙන්නෙ නමත් එක්ක!  ඔයාට ඕව කියනකොට මාවයි දරුවවයි මතක නැද්ද" " කොහොම හරි ජීවිතෙ බේරගන්නව නෙමෙයි මහ ලොකුවට කියවනව" ඒ අපේ පුංචි. සතියක් විතරම බාප්ප කනේ පුළුන් ගහගන හිටියෙ. ඉන් අවුරුදු ගානකට පස්සෙ රිවි‍රැස මෙහෙයුම්වලටත් සම්භන්ද වුනා බාප්ප. එයින් පස්සෙ විශේෂ අවසර මත විශ්‍රාම ගත්ත.

              ඉතින් ඇත්තටම මේක නෙවේ මම මේ කියන්න ආවෙ  මේක මේ අතුරු කතාවක්.
                     
             පූනරීන් සටනට පෙර ක්‍රියාන්විත ප්‍රදේශවල කඳවුරුවලට අත්‍යාවශ්‍ය ද්‍රව්‍යය අඩංගු පාර්සල්  (care packages) යැවීමට අපේ පාසලෙන් තීරණය කළා. ඉතින් මාත් ඒකට ටූත් පේස්ට්,සබන් තුවා ඇතුළු පාර්සලයක් සූදානම් කළා. අපේ ගෙදර කවුරු හරි ඒ වෙලේ විහිලුවට කිව්ව ඔයා ඔය බාප්පටද යවන්නෙ? නම ලියලම යවන්න  කියල. පොඩි උන්ට තේරනවද ඕව. කියල කටගන්න හම්බ උනේ නෑ මම අර කවරවල ලිව්ව XXXXට දෙන්න , රෝස කුමාරි දුවගෙන් බාප්පාට කියල. පාර්සලේ ඉස්කෝලෙට ගෙනියන්න කලින් අම්ම දැකල ඒ විදියට ලියපු ඒව. එයා මට බැන බැන ඒව අයින් කරල අලුත් ඒව දැම්ම.  ඊට සති කීපකට පස්සෙ පුංචිට කතාකරපු බාප්ප කියල බලන්නකො මාර වැඩක් උනානෙ මෙහෙට ඉස්කෝලෙකින් ආව පාර්සලයක තිබුණු ටූත් පේස්ට් කවරෙක තියනව රෝස කුමාරි බාප්පට දෙන කියල ලියපු එකක්. මොකක්ද ඒ කියල.අම්ම අයින් කලාට කොහොමහරි මම ලියපු එකක් එහෙට ගිහින් ඒ බඩු යැව්වෙ ඒ කඳවුරට විතරක් නෙමේ රට වටේ කඳවුරුවලට ඒව බෙදල තිබුන. කොහොම හරි අහම්බෙන් මගේ පාර්සලය බාප්ප ඉන්න කඳවුරේ කෙනෙක්ට ලැබිල ඒකෙ ටූත් පේස්ට් කවරෙ නම දැකල ඒ කෙනා බාප්පට පෙන්නල. මගේ නමත් තියන නිසා බාප්ප අදුනගන. මම එතකොට තුනේ පන්තියෙ බෝල ලොකු අකුරෙන් ලියල තිබුනෙ. බාප්ප නිවාඩුවට එද්දි ඒ කවරය අරන් එන්න තියන් හිටියත් ඊට කලින්  පූනරින් සටන ඇවිත් ඒ කවරයත් ඊට වඩා ගොඩාක් වටින ජීවිත දහස් ගානකුත් විනාශ කළා.

Tuesday, January 1, 2013

වේගන් සහ වෙජිටේරියන්

           
             මම මස් සහ බිත්තර කන්නෙ නෑ . ඒත් මාළු කනව,පොඩි කාලෙදි මාළුත් ප්‍රතිශේප කලා ඒත් සෞඛ්‍යමය හේතු නිසා මාළු කන්න ටික ටික පටන් ගත්ත. මම ක‍තෝලික ආගමේ,  ආගම නිසා තහචියකුත් නෑ. ඉතින් ඒ නිසාවත් මහා ලොකු ප්‍රතිපත්ති නිසාවත්, එහෙමත් නැත්නම් මස් අසාත්මික තාවයක් නිසාවත් නෙවෙයි මම මස් නොකන්නෙ. මමත් දන්නෙ නෑ හරි හේතුවක් ඔය  කියන ඔක්කොමගෙම එකතුවක් වෙන්න පුළුවන්. හැබැයි මම මස් අල්ලන්න එහෙමත් අකමැතියි සත්තු පවු කියලත් හිතෙනව. ඒත් ඒකම නෙමෙයි හේතුව මොකද මම මාළුකනවනෙ. මට මස් වල සුවද අප්‍රියයි. බිත්තරත් එහෙමයි හැබැයි බිත්තර දැමූ කේක් කනව. කිරි, චීස්, යෝගට් ආදියටත් ඒතරම් මනාපයක් නෑ. 
            ඔයකියන ඔක්කොම කාරනා සලකපුවම මම සාමාන්‍යය අහාර රටාවක් තියන කෙනෙක් නෙවෙයි හැබැයි මම වෙජිටේරියන්වත් වේගන්වත් නෙවෙයි. ඹබර කුමාරයා මස් මාළු කිසිවක් කන්නෙ නෑ ඊයෙ පෙරේදා වෙනකන් ෆාම් බිත්තර වල ජීවය නෑ කියමින් බිත්තර කමින් සිටියත් එක්තරා වෙබ්සයිට්  එකක තිබූ ලිපියක් කියවා ඔන්න ඒ කත් නවැත්තුව. ඒ ලිපියේ තිබුනේ ෆාම් වල බිත්තර ලබාගන්න කිකිලියන්ට වද්දෙන බවත් ඔවුන් කැල්සියම් අඩුවී දුර්වල වූ පසු මසට ගන්නා බවත් (ඒ ලිපියෙ තිබුනෙ බිත්තර කන්න අවශ්‍යය නම් ගෙදර කිකිලියෙක් ඇතිකරන්න කියලයි.).  කොහොම උනත් ඔය ලිපිය කියවල ඒ ගැන මා එක්ක සාඛච්චා කරන්න ආව ඹබර කුමාරය මම ගත්කටටම කිව්වෙ." ඔය ඉතින් කන්නෙ කිකිලි ඩිම්භයක්නෙ" කියලයි. ඔන්න ඒක ඇහුන විතරයි බිත්තර කනවද නැද්ද කිය කිය දෙගිඩියාවෙන් හිටියනම් ඒකත් නැවතුනා. ඔන්න එයා නම් දැන් වෙජිටේරියන්. හබැයි වේගන් නෙමේ.
              මොකක්ද මේ වේගන් කියන්නෙ,වේගන් කෙනෙක් කිසිම සත්වමය ආහාරයක් කන්නෙ නෑ . ඒ කියන්නෙ කිරි චීස් යෝගට් ආදිය කන්නෙත් නෑ. ඒ වගේම කිසිම සත්ව කොටස්වලින් සැදුන බඩු භාණ්ඩයක් පාවිච්චි කරන්නෙත් නෑ. ඒ කිව්වෙ ඔය ලෙදර් සපත්තු ආදිය.කිරි අහාර වලින් වැලකීම ශරීරයට කොයිතරම් හිතකරද කියන්න මට පුළුවන් කමක් නෑ. හැබැයි මස් මාළු කිරි බිත්තර නොකන කෙනෙක් අනිවාර්යයෙන්ම ආදේශක ආහාර මගින් ප්‍රෝටීන් , කැල්සියම් ආදී  පෝෂ්‍යය පදාර්ථයන් ලබාගත යුතුයි. ඒ වගේම එළවළු බහුල වශයෙන් ආහාරයට ගත යුතුයි. සමහරුන් මස් ආහාර්යට නොගන්නෙ ආගමික හේතු මත තව සමහරුන් සතුන්ට ඇති ආදරයට. සමහරුන් අසාත්මිකතා නිසා. මේ කොයි හැටි උනත් හැමෝම අහාරයේ සමතුලිත බව ‍රැකගන්න මහන්සි වෙන්න ඕන. සෝයා ආහාර මස් නොකන අයට ප්‍රෝටීන් ලබාගැනීමට තිබෙන හොඳ ක්‍රමයක්.

 මට හදිස්සියේ වේගන් ,වෙජිජේරියන් කට්ටිය මතක් උනේ මෙන්න මෙයා නිසා.

 

           Anne Hathaway , ඈ The Princess Diaries ,The Devil Wears Prada, Becoming Jane,Rachel Getting MarriedAlice in Wonderland, The Dark Knight Rises  ආදී ජනප්‍රිය චිත්‍රපට බොහෝමයක රඟපා බොහොම ප්‍රසිද්ධියට පත්වූ නිලියක්. ඇගේ අලුත්ම චිත්‍රපටය Les Misérables (මනුතාපය) පසුගිය දා ප්‍රදර්ශණය ඇරඹුවා. ඒ චිත්‍රපටයවෙනුවෙන් ඈට කොන්ඩය කපාදමන්න සිදු උනා...  කොණ්ඩය චිත්‍ර පට, නාට්‍යය වෙනුවෙන් කපා දමන්න සිදුවීම අලුත් දෙයක් නොවුනත් මෙහි විශේෂත්වය උනේ ඇගේ විවාහය ඉන් මාස කීපයකට පසු පැවැත්වීමයි. ඇගේ සිහින විවාහ මංගල්‍යය ඉතා කොට කොණ්ඩයක් සහිතව පවත්වන්න වේ යැයි ඈ කවදාවත්ම නොසිතූ බව මාධ්‍යයට පවසා තිබුනා.ආරම්භක කතාව මේ කතාවට සම්බන්ද වෙන්නෙ ඔන්න ඔය විවාහ උත්සවයේදී.
         වේගන් කෙනෙක් වන Anne Hathaway ඒ උත්සවය පවත්වා තිබුනෙත් කිසිදු සත්වමය ආහාර වර්ගයකින් තොරවයි(vegan wedding).  මීට කලින් ජනප්‍රිය නිලි Natalie Portman  ඇගේ විවාහ උත්සවය පවත්වා තිබුනේත් සත්වමය ආහාර නැතිවයි. Anne Hathaway ,Brad Pitt,Natalie Portman,Paul McCartney,  පසුගිය කාලයේ vegan බවට පත්වූ ජනප්‍රිය Hollywood තරු.

කලින් ලියා තැබුවත් ඔන්න අද තමයි සම්පූර්න කරල පෝස්ට් කරන්න අවස්තාව ලැබුනෙ.ශාඛ භක්ශක, සත්ව භක්ශක හෝ සර්ව භක්ශක  ඔබ සැමට වාසනාව සතුට ලැබෙන සුභ නව වසරක් වේවා !!!!